Tuesday, May 17, 2016

චයිනමන් - හොරෙන් උස්සල හරි කියවිය යුතු පොතක්


මැච් එකක් බලන්න යන සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට මැච් එක බලන ගමන් ලොකු ලොකු කෑම ජාති කොහේ කන්නද. ඒව හරි ගණං නේ. එයාල ඉතිං කඩල ගොට්ටක් කාල වතුර එකක් බීල අව්ව තැප තැප ආතල් එකේ මැච්එක බලනවා......


කඩල ගොට්ටකට පුලුවන් ද මැච් ෆික්සිං කරන්න.... හිතයි මට පිස්සු කියලා... ඔව් එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ.

කඩලයි මැච් ෆික්සිනුයි කියන්නෙ හරියට යකඩ ඇණයි, පීසා එකකුයි වගේ.

මේ කතාව තියෙන්නෙ චයිනමන් පොතේ. එහෙම නැත්තං ප්‍රදීප් මැතිව්ස් කියන චයිනමන් බෝලර්ගෙ ක්‍රිකට් පුරාණයේ.

ලංකාවෙ ක්‍රිකට් සාහිත්‍යය කියල එකක් නෑ වගේ. එහෙන් මෙහෙන් ලියවිච්ච පොත් කීපයක් ඇරෙන්න.

චයිනමන් පොත පටන් ගන්නෙ. වයසක ඩයල් දෙකක් ක්‍රීඩකයෙක් ගැන කරුනු හොයන්න පත්තරේ ඇඩ් එකක් දානවා. ඔව් ඔව් අපි වගේම වයසක ක්‍රිකට් පිස්සො දෙන්නෙක්.

මේ තියෙන්නෙ ඒ ඇඩ් එක.

ප්‍රදීප් සිවනාදන් මැතිව්, ක්‍රිකට් ක්‍රීඩක 1977-83 තර්ස්ටන්, 1986-94 බ්ලූම්ෆීල්ඩ්, ව්ඛ්ඛ් 1985-95 ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ලදී. දුරකතන අංක 724520ට තොරතුරු දන්වන්න. 
 - ඩබ්ලිව්.ජී

මේ ක්‍රීඩකයා එසේ මෙසේ ක්‍රීඩකයෙක් නෙවෙයි. 1985 ඉඳල 1996 වෙනකං විටින් විට ජාතික කණ්ඩායම නියෝජනය කරපු ප්‍රදීප් මැතිව්ස් කියන මායාකාරී දඟ පන්දු යවන්නා. ඔහුගේ විශේෂත්වය තමයි මායාකාරී චයිනමන් පන්දු යැවීමේ හැකියාව. ඊට අමතරව දූස්රා, ගුග්ලි ඇතුළු දඟ පන්දු යවන්නෙකුට යවන්න පුලුවන් හැම පන්දුවකින්ම ඔහුගේ ආයුධ ගබඩාව සම්පූර්ණයි. මේ හැකියාව ඔහුට ලැබිල තියෙන්නෙ ඔහුගේ පන්දු යවන අතේ තිබෙන විශේෂත්වයක් නිසා. හරියට අපේ මුරලිදරන් වගේ.

එතකොට ඇයි එහෙනං මේ මායාකාරී ක්‍රීඩකයා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් නොවුනේ. ඒකට හේතුවෙ ඔහු හිතුවක්කාරී ක්‍රීඩකයෙකු වීම. ඊට අමතරව ඔහුට එරෙහිව තිබුණු කැපිලි කෙටිලි. ක්‍රිකට් පරිපාලනය තමන්ගෙ අවශ්‍යතාවලට මේ ක්‍රීඩකයව පාවිච්චි කරනවා.

මේ අරුම පුදුම ක්‍රීඩකයා හිටපු ගමන් අතුරුදන් වෙනවා.

මම කලින් කියපු වයසක ඩයල් දෙකේ අරමුණ තමයි මේ ක්‍රීඩකයා නැවත සොයාගැනීම.

දැන් මැච් ෆික්සිං ගැන කතාවට එමු.

කඩල ගොට්ටකින් කොහොමද මැච් ෆික්සිං කරන්නෙ. මේ පොතේ එක තැනක තියනවා. ලංකාවෙ තිබ්බ මැච් එකක අපේ බැට්ස්මන්ල බැට් කරන්න ගියපු ගමන් අනිත් පැත්තට අවුට් වෙලා එනවා. සමහර අයට බැට් කරන්න යන්නත් බෑ. මේකට හේතුව තමයි හැමෝටම බඩේ අමාරුවක් හැදිලා. බඩේ අමාරුව හැදෙන්නෙ ක්‍රීඩකයො මැච් එකට කලින් කාපු ආහාරයක් නිසා. ඒ තමයි කඩල.

පොතේ ඉන්නවා කුගා කියල චරිතයක්. මෙයා තමයි මැච් ෆික්සිං කරන්නෙ. කුගා මත්පැන්, සුරූපී කාන්තාවන්ට අමතරව කඩල වගේ දේවලුත් මැච් ෆික්සිං කරන්න යොදා ගන්නවා.

ආයෙත් ප්‍රදීප් මැතිව්ස්.....

ප්‍රදීප් මැතිව්ස් කළඑලි බහින්නෙ රෝයල් තෝමියන් බිග් මැච්එකෙන්. එයා ඒ අවුරුද්දෙ ප්‍රතිවාදී තෝමියන් ක්‍රීඩකයන්ව අන්දමන්ද කරනවා. ඒත් ප්‍රදීප් මැතිව්ස්ගෙ නම රෝයල් ලකුණු පුවරුවේ නෑ. මැතිව්ස් බෝල් කරන්නෙ වෙනත් ක්‍රීඩකයන් විදියට වෙස් වලාගෙන.

විස්වාස කරන්න ටිකක් අමාරුයි නේද ? මෙහෙම කියද්දි විස්වාස කරන්න බෑ වගේ තමයි. ඒකට නං ඉතිං පොත කියවන්නම වෙනවා.

තවත් ටෙස්ට් මැච් එකක් ගැන මේ පොතේ සඳහන් වෙනවා. මැච් එක තියෙන්නෙ අස්ගිරිය ක්‍රීඩාංගනයේදී. අසූව දශකයේ අගභාගයේදී. ප්‍රදීප් මැතිව්ස් මේ තරගයේ ඉනිමකදී ප්‍රතිවාදී කඩුලු 10 ම දවා ගන්නවා. නමුත් අන්තිමට ඒ ටෙස්ට් මැච්එක වාර්තාවලින් අදෘශ්‍යමාන ලෙස ඉවත් වෙනවා.

ඔව් ඔව් ඒ ගැන වැඩි විස්තර බලන්න නං පොත කියවන්නම වෙනවා.
මේ ඉන්නෙ  ෂෙහාන් කරුණාතිලක

මේ පොතේ රචකයා ෂෙහාන් කරුණාතිලක. පොත ලියන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. චයිනමන් එයා හාහාපුරා කියල ලියපු පළවෙනි, මංගල, කුළුඳුල් පොත. මේ පොත නිසා ෂෙහාන්ට සම්මාන පිට සම්මාන හම්බවෙනවා. 2008 දි ග්‍රේෂන් සම්මානය, 2011 දි හොඳම කුළුඳුල් නවකතාවට හිමි වෝටර්ස්ටෝන්ස් සම්මානය, එතකොට 2012 දි දකුණු ආසියානු ඩී.එස්.සී. සාහිත්‍ය සම්මානය, 2012 දි ම හොඳම පොදුරාජ්‍ය මණ්ඩලීය ග්‍රන්ථය සඳහා වූ සම්මානය.

ඉංග්‍රීසියෙන් ලියවුණු මේ පොත - නෑ නෑ මම ඉංග්‍රීසි දන්නෑ, මම කියෙව්වෙ සිංහල පරිවර්තනය - දිලීප අබේසේකර විසින් සිංහලට පරිවර්තනය කරනවා.

මේක නවකතාවක් උනාට ආකෘතිය තරමක් වෙනස්. සාමාන්‍ය නවකතාවක් වගේ කතාව ඔගේ ගලාගෙන යන්නෙ නෑ. කතාව යන්නෙ පොඩි පොඩි වාර්තා විදියට.

පොතේ පළවෙනි පිටු කීපය කියවද්දි පට්ට බෝරිං. මොන මගුලකට පොත අතට ගත්තද කියල හිතෙනවා. හරියට ප්‍රදීප් මැතිව්ස් එකිනෙකට වෙනස් විදියට දාන පන්දු ඕවරයකට මුහුණ දෙනව වගේ. ඕං තව ටිකක් කියවද්දි හිතෙනවා යකෝ මේ කියන ප්‍රදීප් මැතිව්ස් ඇත්තටම හිටපු ක්‍රීඩකයෙක් ද කියලා.

අන්න එතකොට හිතෙනවා පොත පැත්තකිං තියලා ක්‍රික්ඉන්-ෆෝ එකට ගිහිල්ල අසූ ගණන්වල මේ වගේ ක්‍රීඩකයෙක් හිටියද කියල බලන්න. - ඔව් ඔව් මාත් ඒ ගොං වැඩේ කරපු හින්දනේ කියන්නෙ. දවසක්ම බැලුවා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික වාර්තා චෙක් කර කර - පොතේ මැද හරියට එද්දි හිතෙනවා ප්‍රදීප් මැතිව්ස් කියන්නෙ මනක්කල්පිතයෙක් තමයි කියලා. හැබැයි මේ වෙද්දි පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නෑ.

කොහොම හරි අර වයසක ඩෑල් දෙකෙන් පත්තරේ ඇඩ් එකේ නම තියන ඩබ්.ජී. මැරෙනවා - නෑ නෑ පොත ඉවර වෙන්නෙ නෑ - බැටන් එක ගන්නවා දෙවැනි පරම්පාරාව, ඒ කියන්නෙ ඩබ්.ජී.ගෙ පුතා. එයා තමයි නවසීලන්තෙ ගිහිල්ලා කරග්ගහලා කරග්ගහලා ප්‍රදීප් මැතිව්ස් හොයාගන්නෙ.

ආයෙ අන්තිම හරියට යද්දි හිතෙනවා යකෝ මූ නං අනිවා ඇත්තටම ලංකාවෙ හිටපු ක්‍රීඩකයෙක් ම තමයි කියලා.. ඕං ඉතිං ආයෙ පොත පැත්තකින් තියලා යනව ක්‍රික්ඉන්-ෆෝ එකට. ගිහිල්ලා කලින් මොකුත් උනේ නෑ වගේ ආපහු කොනක ඉඳල ලංකාවෙ හිටපු දඟ පන්දු යවන්නො ගැන හොයනවා - ඔව් ඔව් මම තමයි - ආන්න එතකොට එක්කෙනෙක් ලඟ මගේ සර්වාංගෙම නතර වෙනවා. ඒ තමයි ජයන්ත ද සිල්වා. - හිනා වෙන්න එපා හලෝ - මම තාම විස්වාස කරන්නෙ ප්‍රදීප් මැතිව්ස් කියන්නෙ ජයන්ත ද සිල්වා කියලම තමයි (අපේ කාලෙ සහ අනූවෙ මුල් කාලෙ ඉඳල මැච් බලන ක්‍රිකට් පිස්සො නං දන්නවා මේ ඩෑල් එක කවුද කියලා)

මේ පොතේ ප්‍රදීප් මැතිව්ස්ගෙ කතාව යන අතරෙම ලංකාවෙ ක්‍රිකට් ගැන, ඒ කාලෙ දේශපාලන, ආර්ථික කරුණු කාරණා ගැන සැලකිය යුතු පැහැදිලි කිරීමකුත් තියනවා. ඒක නිසාම තමයි මේ පොත වැදගත් වෙන්නෙ.

ක්‍රිකට් කණ්ඩායම ඇතුළෙ, ක්‍රිකට් ආයතනය ඇතුළෙ තිබ්බ ගේම්, පාවාදීම්, ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ තිබුණු පංතිමය බෙදීම ගැන ලොකු විස්තරයක් තියනවා. වැදගත්ම දේ තමයි මැච් ෆික්සිං ගැන සෑහෙන්න තොරතුරු අන්තර්ගතයි. අනිත් එක කාන්තාවන් සහ බොතල් පෙන්නල කොච්චර විපර්යාස කරන්න පුලුවන්ද කියන එකත් මේ පොතේ විස්තර කරනවා. පොත කියෙව්වට පස්සෙ ලංකාවෙ ක්‍රිකට්වල ඒ කාලෙ හිටපු පතාක යෝධයෝ කියල කියන අය කොච්චර පහත් ද කියල හිතුනොත් පුදුම වෙන්න දෙයක් නෑ.
මේ ඉන්නෙ දිලීප අබේසේකර

සිංහල පරිවර්තනය ගැනත් යමක් කියන්න ඕන. දිලීප අබේසේකර මේ පොත පරිවර්තනයක් කියල තේරෙන්නෙ නැති තරමට සාර්ථකව එයාගෙ කාර්යය කරල තියනවා. දිලීප ලොකු භාෂා හරඹයක් සිය පරිවර්තන කාර්ය තුළ සිදු කරනවා. ඒක පොත කියවන්න ලොකු අනුබලයක් ලබා දෙනවා. ඉංග්‍රීසි පොතේ කතුවරයා ලාංකිකයෙකු වීමත්, කතාව ගලායන්නෙ අපට හුරු පරිසරයක වීමත් දිලීප අබේසේකරට පරිවර්තනය සඳහා පහසුවක් වෙන්න ඇති.

කොහොම උනත් කාලෙකින් කියවපු හොඳ පොතක්. ඒ වගේම ලංකාවෙ ක්‍රිකට් සාහිත්‍යය සම්බන්ධයෙන් කතා කරද්දි අමතක නොකරම බැරි, ඉහළ ස්ථානයකට ඔසවා තැබිය යුතු පොතක්.
අන්තිමට කියන්න තියෙන්නෙ ක්‍රිකට් පිස්සෙක් නං අනිවා කියවිය යුතුම පොතක්. - ඔව් ඔව් අනිත් ඈයොත් කියවන්නම ඕන පොතක් තමයි - මං වගේ පොත කියවන අතරමැද්දෙ ප්‍රදීප් මැතිව්ස් ඇත්තටම ලංකාවෙ හිටියද කියලත් ක්‍රික්ඉන්-ෆෝ එකට ගිහිල්ලා සර්ච් කරල බලන්න. ඒකත් වෙන ආතල් එකක්.

අවසානෙට කියන්න තියෙන්නෙත් මුලින් කියපු දේම තමයි.

චයිනමන් - හොරෙන් උස්සල හරි කියවිය යුතු, ක්‍රිකට් පිස්සෙක් නං කියවිය යුතුම පොතක්....................

 - උපුල් නිශාන්ත

21 comments:

  1. ඕං කිරිකට්පි ස්සා බලන්න මං ආවා..

    ReplyDelete
  2. Pissu pothak gena pissek liyapu satahanak.... hak hak ..
    Kohenda potha ganna puluwan?

    ReplyDelete
    Replies
    1. තැනක් නං දන්නෑ මම හිතන්නෙ නෙට් එකේ තියනවා ගෙදරට ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක්

      Delete
    2. http://takas.lk/chinaman-the-legend-of-pradeep-mathew-sinhala-translation.html?___store=sinhala&___from_store=sinhala

      Delete
  3. Me potha library eke tibuna bn. Mama ganan gatte ne

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ආපහු ගිහිල්ල අරන් බලන්න

      Delete
    2. අපරාදෙ ආපහු ගිහිල්ල අරන් බලන්න

      Delete
  4. Me potha library eke tibuna bn. Mama ganan gatte ne

    ReplyDelete
  5. Ela bn.kohenda meka gnna thiyenne

    ReplyDelete
    Replies
    1. http://takas.lk/chinaman-the-legend-of-pradeep-mathew-sinhala-translation.html?___store=sinhala&___from_store=sinhala

      Delete
  6. කවුද මේ උපුල් මල්ලිද එල නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්............. හ්ම්............

      Delete
  7. පොත නම් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ.

    ReplyDelete
  8. මේ පොත (ඉංග්‍රීසි එක) අතට අරන් කිහිප වතාවක් කල්පනා කරලා ආපහු තිබ්බේ, ඒකෙ මිල පොකැට්ටුවට බර වැඩි නිසා. නැතිනම් මම කරලා තියෙන ක්‍රිකට් පිස්සු වැඩවලට ඕක සුළු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ආපහු තිබ්බෙ

      Delete
  9. Pradeep Mathews wage ekek api hoya ganna one ikmanatama

    ReplyDelete
  10. ශෙහාන් කරුණාතිලක ද පේන්ටර් කියලා පොතකුත් ඉස්සෙල්ලා ලිව්වා. චයිනාමන් කියවන්න ඕන කියලා හිතුනේ නැහැ මේක කියවනකම්. ඕඩර් කලා. කියවලා බලමු.

    ReplyDelete
  11. horen ussala thamai kiyewwe.. last book fair eken :p mamath ambanaka hewwa me dial eka aththada kiyala.. anthimata mole wikara una me kathawa aththada boruda kiyala hithanna gihin

    ReplyDelete