Tuesday, May 30, 2017

20/20 ලෝක කුසලානයට එරෙහි වූ IPL ලොක්කෝ

ඔබ දන්නවාද 2008 වසරේ ඉන්දියානු ප්‍රීමියර් ලීගය ආරම්භ කොට ලොවවටා සිටින දක්ෂ ක්‍රීඩකයන් සල්ලි මලු පෙන්වා බිලිබා ගනිමින් සමස්ත ක්‍රිකට් ලෝකයම උඩු-යටිකුරු කළ ඉන්දියානු ක්‍රිකට් ලොක්කන් ඊට වසර දෙකකට පෙර 20/20 ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ කිරීමට විරෝධය දක්වමින් ඊට එරෙහිව දැඩි සටනක් ක්‍රියාත්මක කළ බව.
එංගලන්ත ප්‍රාන්ත අතර පැවති ඕවර් 40 තරග වැනි නව තරග අංශයක් ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය 2003 දී පියවර ගත් අතර එහිදී එක් කණ්ඩායමකට ලැබුණේ පන්දු වාර 20 ක් පමණි. මුල සිටම මෙම තරග වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට සමත් වූ අතර එක් තරගයක් පැය තුනක කාලයකින් නිමාවට පත්වීම හා පාපන්දු, රග්බි වැනි තරග මෙන් උද්වේගකර තරගකාරීත්වයක් පැවතීම එයට හේතුවිය.

මේ නිසා ඉතා ඉක්මනින් 20/20 තරග ලොවපුරා ජනප්‍රිය වූ අතර 2005 දී පළමු 20/20 ජාත්‍යන්ත තරගය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්විණි.

2006 වසර ඇරඹීමත් සමග 20/20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කතාබහක් ඇතිවිය. ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් කිහිපයක් මුල සිටම 20/20 තරග සඳහා එතරම් කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන්ගේ ප්‍රධාන තර්කය වූයේ එක්දින තරග පැවතියදී තවත් එවැනි තරග අංශයක් අනවශ්‍ය බවයි. ඉන්දියාව මෙහි ප්‍රමුඛයා වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ 20/20 ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. එය තර්ජනයක් මට්ටමට පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කළේ එවැනි තරගාවලියක් ආරම්භ කළහොත් ඒ සඳහා ඉන්දියාව කිසිසේත් සහභාගි නොවන බවයි. එසේම එම විරෝධය සඳහා සෙසු ආසියානු රටවල් වන පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ද එකඟ වනු ඇති බව ඉන්දියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයත් සමග පකිස්ථානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ තමන්ද 20/20 ලෝක කුසලානයට විරුද්ධ බවත් ඉන්දියාව සමග තරගාවලිය වර්ජනය කිරීමට එකතු වන බවත්ය.

සිය විරෝධය සඳහා ඉන්දියාව ගෙන ආ තර්කය වූයේ 20/20 තරග යනු විකෘතියක් බවයි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායිකත්වයට හා ජීවගුණයට හානිකර බව ද එක්දින තරග සඳහා ලොවවටා විශාල ජනප්‍රියත්වයක් ඇති හෙයින් පන්දුවාර ප්‍රමාණය අඩුකොට නව තරග අංශයක් හඳුන්වාදීම අනවශ්‍ය බව ද ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ තර්කයයි. ඉදිරියේදී යම් රටක් පන්දුවාර 25 තරග ක්‍රමයක් හඳුන්වා දුනහොත් එම තරග සඳහාද ජාත්‍යන්තර වරම් සහ ලෝක කුසලාන තරගාවලියක් ලබාදෙන්නේද යන්න සඳහා ICCය පිළිතුරු ලබාදිය යුතු බව ඉන්දියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉන්දියාවේ මෙම විරෝධය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සහයෝගය ලබා නොදුන් අතර පසුව පකිස්ථානය ද පසුව සිය විරෝධය ඉවත් කරගැනීමට කටයුතු කළේය. අවසානයේ ඉන්දියානු විරෝධය පුස්සක් බවට පත්වූ අතර ඔවුන්ටද 20/20 ලෝක කුසලානය සඳහා එකඟවීමට සිදුවිය.

2007 සැප්තැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවේදී පැවති මංගල 20/20 ලෝක කුසලානයට සහභාගිවීමට ඉන්දියාවට සිදුවූවා පමණක් නොව පළමු 20/20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළඳීමට ද ඉන්දියානුවන්ට හැකිවිය.

20/20 ක්‍රිකට් තරග යනු සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවට පිළිලයක් බව ප්‍රකාශ කළ ඉන්දියානු ක්‍රිකට් ආයතනය පළමු ලෝක කුසලානයෙන් මාස හයක් ඉක්මයන්නට ප්‍රථම එය ප්‍රායෝගිකවම ඔප්පු කිරීමට සමත් වූයේ ඉන්දියානු ප්‍රීමියර් ලීගය ආරම්භ කරමිනි. මේ අයුරින් ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ දෙබිඩි පිළිවෙල හෙළිවූ අතර මේ වනවිට ඉන්දියානු ප්‍රීමියර් ලීගය පිළිකාවක් මෙන් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය පුරාම පැතිරී ඇති අතර ICCයට හෝ දැන් එම පිළිකාවට ප්‍රතිකර්ම කළ නොහැකි මට්ටමට පැමිණ තිබේ.

නාකියා

No comments:

Post a Comment