Saturday, May 21, 2016

කුසල් එංගලන්තයට................

එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට ලක්‌වීම හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ධම්මික ප්‍රසාද් වෙනුවට කුසල් ජනිත් පෙරේරාව කණ්‌ඩායමට එක්‌ කිරීම පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ (20 දා) සවස විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව තිබුණ අතර එහිදී කණ්‌ඩායමට එක්‌ කිරීමට වඩාත් සුදුසුම ක්‍රීඩකයා ගැන සාකච්ඡා කර ඔහුව ඉදිරි දින කිහිපයේදීම කණ්‌ඩායමට එක්‌ කිරීමට නියමිතව තිබේ.

ධම්මික ප්‍රසාද් වෙනුවට වේග පන්දු යවන්නෙක්‌ම කණ්‌ඩායමට එක්‌ කිරීමේ අදහසක්‌ නැතැයි තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා කළ විමසීමකදී පැවසීය.

“ධම්මික ප්‍රසාද් නැති වුණාට වේග පන්දු යවන්නන් හය දෙනෙක්‌ම කණ්‌ඩායමේ ඉන්නවා. ඒ නිසා වේග පන්දු යවන්නෙක්‌ම ඒ වෙනුවට ආදේශ කරන්න කියල බලාපොරොත්තුවක්‌ නැහැ. ඒ ගැන අපේ තේරීම් කමිටුව සාකච්ඡා කරල තීරණයක්‌ ගන්වා.” යෑයි ජයසුරිය මහතා පැවසීය.

ධම්මික ප්‍රසාද් ඉවත්වුවද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස ෂමින්ද එරංග, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සුරංග ලක්‌මාල් සහ ඇන්ජලෝ මැතිව්ස්‌ සිටිති.

තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්‌වූ කුසල් පෙරේරාව එංගලන්ත සංචාරයට එක්‌කිරීමට අදහසක්‌ තිබේද යන්න විමසන ලදුව ජයසූරිය මහතා පැවසුවේ, “ඒ ගැනත් සලකල බලනවා.

මේ අවස්‌ථාවේ කණ්‌ඩායමට වඩාත්ම සුදුසු ක්‍රීඩකයාව අපි සාකච්ඡා කරල තෝරනවා. කුසල් හෝ වෙනත් ක්‍රීඩකයෙක්‌ වෙන්න පුළුවන්. නමුත් කුසල් ගැනත් සලකල බලනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මාස හතකට ආසන්න කාලයක්‌ ක්‍රිකට්‌ පිටියෙන් ඉවත්ව සිටි කුසල් පෙරේරා පසුගිය සතියේ සිට පුහුණුවීම් කටයුතු අරඹා ඇති අතර ඔහු ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ වෙන්කර සිටියදී පසුගිය නොවැම්බර් මස නවසීලන්ත සංචාරයක්‌ අතරතුරදී තහනම් උත්තේජක චෝදනාව හේතුවෙන් කණ්‌ඩායමෙන් ඉවත් විය.

උපනායක දිනේෂ් චන්දිමාල් පිතිකරුවකු වුවත් ඔහු කණ්‌ඩායමේ කඩුලු රැකීම හේතුවෙන් ඔහුගේ උපරිමය ලබා ගැනීමට නම් දක්‍ෂ පිතිකරුවකු සහ කඩුලු රකින්නෙකුගේ අවශ්‍යතාව කණ්‌ඩායමට අවශ්‍යව තිබෙන බැවින් කුසල් පෙරේරාට කණ්‌ඩායමට එක්‌වීමේ වැඩි අවස්‌ථාවක්‌ හිමිව තිබේ.

25 හැවිරිදි කුසල් පෙරේරා පසුගිය වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්‌ට්‌ වරම් ලබමින් පළමු තරගයේ ඉනිම දෙකේදීම අර්ධ ශතක (55 සහ 70) වාර්තා කිරීමට සමත් විය. ඔහු ටෙස්‌ට්‌ තරග තුනකට සහභාගි වී ඉනිමක සාමාන්‍ය 33.80 ක්‌ ලෙස සටහන් කර ගෙන තිබේ. කුසල් පෙරේරාගේ අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඔහුව තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්‌ කර ගැනීම සඳහා මිලියන 13 කට ආසන්න මුදලක්‌ වැය කර තිබේ. ඒ අනූව කුසල්ව හැකි ඉක්‌මනින් කණ්‌ඩායමට එක්‌ කිරීමේ වැඩි අවශ්‍යතාවක්‌ ක්‍රිකට්‌ ආයතනයේ සහ තේරීම් කමිටුවට ඇතත් ඔහුගේ ශරීර යෝග්‍යතාව පරීක්‍ෂා කර බලා ඉදිරි දින කිහිපයේදී කණ්‌ඩායමට එක්‌ කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ හිමිව තිබේ.

Maliya Nanayakkara

No comments:

Post a Comment