Monday, June 26, 2017

චී...චී... දයාසිරි, ඔක්කොම එළියෙ හලෝ.....

කලකට ඉහත නැරඹූ වැඩිහිටියන්ට පමණයි වර්ගයේ සිනමා පටයක දර්ශනයක් සිහිපත් වේ. එම යුද්ධය පාදක කරගත් එම සිනමා පටයේ ප්‍රධාන නිළිය යුද්ධය හේතුවෙන් කම්පනයට පත්ව සිටී. ඇයට බියක්, කණගාටුවක් දැනුණු සෑම මොහොතකම ඇය සිදුකරන්නේ සිය ඇඳිවත ඔසවා මුහුණ වසාගැනීමයි. මුහුණ වැසී ගියද වසා ගතයුතු අනෙක් ශරීරාංග නිරාවණය වී ඇති බව කම්පනයට පත්ව සිටින ඇයට වැටහෙන්නේ නැත.

හදිසියේ මෙය සිහිපත් වූයේ අපේ ගරු ක්‍රීඩා අමාත්‍යතුමා මේ දිනවල ක්‍රීඩා කෙසේ වෙතත් ක්‍රිකට් සම්බන්ධයෙන් සිදුකරන අතිශය වගකීම් සහගත ප්‍රකාශ හේතුවෙනි.

එම ප්‍රකාශ සලකා බැලීමේදී පෙනී යන්නේ එක්කෝ ඔහු ක්‍රීඩා අමාත්‍යධූරයට පත් 2015 වසරේ සිට කෝමා තත්වයකින් පසුවූ බවකි. එසේ නැතහොත් ඔහුට හොරෙන් එම කාලය තුළ අංගෙඩින් පැන්න පිස්සෙක් ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතුවලට මැදිහත් වී තිබේ.

එළඹෙන සිම්බාබ්වේ-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා තේරීම් කමිටුව තෝරාගත් කණ්ඩායම අනුමැතිය සඳහා මීට දින කිහිපයකට පෙර ඇමතිවරයා වෙත යැවූ අතර ඒ සඳහා අනුමැතිය ලබාදීම ඇමතිවරයා දිගින් දිගටම ප්‍රමාද කළේය. දයාසිරි ජයසේකර ඇමතිවරයා අද (26) ප්‍රකාශ කරන්නේ අදාල තේරීම් සඳහා අනුමැතිය ලබාදිය නොහැකි බවයි. එයට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ අපේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටම සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් නොමැති බවයි.

ඇමතිවරයාට ක්‍රීඩකයන්ගේ ෆිට්නස් සම්බන්ධයෙන් හදිසියේ බරපතල ගැටලුවක් ඇතිව තිබේ. අපට අසන්නට ඇත්තේ මෙම ක්‍රීඩකයන්ම චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගි වූයේ ඇමතිවරයාගේ අනුමැතිය නොමැතිවද යන්නයි. එසේ නැතහොත් හදිසියේ ෆිට්න් අඩුවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් ඇමතිවරයා පැහැදිලි කළයුතුය.

දැනට වසරකට වැඩි කාලයක සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ගැටලු පැවති අතර ඔවුන් බොහෝදෙනා විටින් විට ආබාධවලට ලක්විය. එසේම පන්දු රැකීම ද තිබෙන්නේ ඉතාමත් පහත් තත්වයකයි.

ඒ අනුව වසරකට වැඩි කාලයක් තිස්සේ කණ්ඩායම සඳහා අනුමැතිය ලබාදෙද්දී නොපෙනුණු ගැටලුවක් හදිසියේ ඇමතිවරයාට ප්‍රාදුර්භූත වී තිබේ.

ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමගින් පහත නිගමනවලට අපට පැමිණීමට හැකියාව තිබේ. එහෙත් හරියටම සිදුවූයේ කුමක්ද යන්න දන්නේ ඇමතිවරයාම පමණි.

එක්කෝ පසුගිය සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇමතිවරයාගේ අනුමැතිය රහිතව සංචාර සඳහා සහභාගි කරවීමට තේරීම් කමිටුව විසින් රහසිගතව කටයුතු කර ඇත. ක්‍රීඩා ඇමති තොත්ත බබා මේ කිසිවක් නොදන්නා නිසා අපේ සහ රටේ අවාසනාවට මීට පෙර ක්‍රීඩකයන්ගේ ෆිට්නස් අඩු බව දැනගත නොහැකි විය.

නැතහොත්, ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින කොහේදෝ යන පිස්සෙකු විසින් දයාසිරි ඇමතිතුමා කණ්ඩායමට අනුමැතිය ලබාදීමට පෙර හොරෙන් ඇමතිවරයාගේ අත්සන ගසා ලිපිය තේරීම් කමිටුව වෙත යවා තිබේ.

එසේද නැතහොත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ දිනවල සිරි ලංකා ක්‍රිකට් ඉහළට ඔසවා තැබීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට ඉරිසියාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ උපදෙස් මත ශ්‍රී ලංක දෘෂ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් සංචිතයක් අනුමැතිය සඳහා ඇමතිතුමා වෙත යවා තිබේ.

ඊට අමතරව මෙය ඉන්දීය කුමන්ත්‍රණයක් ද වියහැකිය. චැම්පියන්ස් ට්‍රොපියේදී තමන් පරාජය කිරීමේ වාඩුව ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ෆිට්නස් අඩුකිරීම සඳහා මලයාල ගුරුකමක් සිදුකළා වන්නටද පුලුවන. නැත්නම් චැම්පියන්ස් ටොපිය අතරමැද ලංකාවට පැමිණෙද්දී පවා එළකිරි ටිකට සිටි අපේ කොල්ලන්ගේ ෆිට්නස් හදිසියේ නැතිවෙන්නට බැරිය.

සිරි ලංකා ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ඇමතිතුමා ද දැන් සිටන්නේ ඉහත කී සිනමාපටයේ ප්‍රධාන නිළිය සිටින ආකාරයෙනි. සිය ලැජ්ජාව වහගැනීමට සිය සරම ඔසවා මුහුණ වසාගන්නා මුහුණ ගරු දයාසිරි ඇමතිතුමාට ආවරණයක කරගත යුතු දේවල් නිරාවරණය වී ඇති බව පේන්නේ නැත. ඒ සියල්ලෙ පේන්නේ බලාසිටින අපටයි.

දයාසිරි මූණ වහගත්තාට වැඩක් නැත....
වසාගත යුතු තැන් ඔක්කොම එලියේය......
චී...චී..... දයාසිරි, ඔක්කොම එලියෙ හලෝ......

නාකියා

No comments:

Post a Comment