Monday, May 16, 2016

ODI-GOAT අවසන් සටනට සංගක්කාර සහ ටෙන්ඩුල්කාර් - මේ ඔබේ සහාය අවශ්‍යම මොහොතයි

ඕස්ට්‍රේලියාවේ cricket.com.au වෙබ් අඩවිය පවත්වන හොඳම එක්දින ක්‍රීඩකයා තේරීමේ සටන මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

ලොවපුරා දක්ෂ ක්‍රීඩකයන් 64 දෙනෙකු යොදා ගනිමින් ආරම්භ කළ මෙම තරගය සඳහා අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, කුමාර සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, ලසිත් මාලිංග, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් තෝරාගෙන තිබිණි.

මේ අතරින්  දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සනත් ජයසූරිය, චමින්ද වාස්, සංගක්කාර සහ මුරලිදරන් සමත් විය. අවසන් සිව්දෙනා අතරට සුදුසුකම් ලබාගැනීමට සනත් ජයසූරිය සහ කුමාර සංගක්කාර සමත් වූ අතර අවසන් පූර්ව තරගයේදී සචින් ටෙන්ඩුල්කාර් හමුවේ සනත් ජයසූරිය පරාජයට පත්විය.

කෙසේ වෙතත් අනෙක් අවසන් පූර්ව තරගයට ඉදිරිපත් වූ කුමාර සංගක්කාර ඉම්රාන් ඛාන් පරදවා අවසන් තරගයට තේරී පත්වූ අතර ඉදිරියේදී කුමාර සංගක්කාර සහ සචින් ටෙන්ඩුල්කාර් අතර අවසන් තරගය පැවැත්වීමට නියමිතය.

මෙම තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගන්නේ ලොවපුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ ඡන්දයෙනි. අදාල වෙබ් අඩවියට පැමිණීමෙන් මනාපය පළකල හැකිය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය කරවීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සිය මනාපය පළකළ අතර ඒ සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරිණි. විශේෂයෙන් ෆේස්බුක්හි නිර්මාණය කර ඇති ක්‍රිකට්ලෝලීන්ගේ සමූහවල සිටින ක්‍රිකට් ලෝලීන් මෙරට ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ ඉමහත් කැපවීමෙන් කටයුතු කළේය.

කෝටි ගණනක් වූ ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට දැඩි තරගයක් දෙමින් ටෙන්ඩුල්කාර් පරදවා සනත් ජයසූරිය අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය කරවීමට දැඩි උත්සාහයක් ගත් අතර අවසන් මොහොතේ එම උත්සාහය අසාර්ථක විය. එහෙත් දෙවැනි අවසන් පූර්ව තරගයේදී දැඩි උත්සාහයකින් පසු පකිස්ථානු ක්‍රිකට්ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳදමමින් ඉම්රාන් ඛාන් පරදවා කුමාර සංගක්කාර අවසන් තරගයට ගෙනඒමට ෆේස්බුක්හි ක්‍රිකට් සමූහවල සාමාජිකයන් ඇතුළ සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් සමත් විය.

ඉදිරි දිනකදී සංගා සහ සචින් අතර අවසන් තරගය පැවැත්වීමට නියමිත අතර එම තරගයෙන් සංගක්කාර ජයග්‍රහණය කරවීමට මෙරට ක්‍රිකට්ලෝලීන් සියලු දෙනා එකා මෙන් කටයුතු කළයුතු මොහොත එයයි.

උපුල් නිශාන්ත

No comments:

Post a Comment