Wednesday, October 12, 2016

ක්‍රිකට් පිටියේ රැවුල්කාරයෝ......

ක්‍රිකට් පිටිය හා විලාසිතා අතර ඇත්තේ කදිම සම්බන්ධයකි. ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කරන විලාසිතා ඉක්මනින් ජනප්‍රිය වන අතර එයට හේතුව එම ක්‍රීඩකයන් වැළඳ ගන්නා ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ විලාසිතා ද ඉතා ඉක්මනින් වැළඳගන්නා බැවිනි.

70-80 දශකවලදී ක්‍රිකට් ක්‍රීඩාව වැළඳ ගත් ජනප්‍රිය විලාසිතාවක් වූයේ කොණ්ඩය වැවීමයි.

එහෙත් එය දිගු කොණ්ඩයක් නොවූ අතර බොහො වේග පන්දු යවන්නන් මෙම බොකුටු කොණ්ඩා විලාසිතාව අනුගමනය කරනු දක්නට ලැබිණි. ඊට අමතරව උඩු රැවුළ වැවීම ද එකළ ජනප්‍රිය වූ විලාසිතාවක්. උඩු රැවුළ තුළින් බොහෝ ක්‍රීඩකයන්ට අමතර පෞරුෂත්වයක් අත්කර ගැනීමට හැකිවිය.

එවැනි උඩු රැවුළන් අතර මර්වි හියුස්, ඩෙනිස් ලිලී, ඩේවිඩ් බූන් යන ඔසියන් ප්‍රමුඛයන් වේ. කලක් මිචෙල් ජොන්සන් ද ඉතා අලංකාර උඩු රැවුල් විලාසිතාවක් අනුගමනය කරනු දක්නට ලැබිණි. මීට අමතරව ඉයන චැපල් ද හොඳ උඩුරැවුල් කාරයෙකි.

අද කියන්නට යන්නේ මේ දිනවල වසංගතයක් මෙන් ක්‍රිකට් පිටිය වසාගෙන හමන රැවුල් විලාසිතාව ගැනයි. අද බොහෝ ක්‍රීඩකයන් සිය රැවුල සම්පූර්ණයෙන් වැවීම සිය විලාසිතාව බවට පත් කරගෙන සිටී. බොහෝ විට සෑම කණ්ඩායමකම අවම වශයෙන් ක්‍රීඩකයන් තුන් හතර දෙනෙකු හෝ මෙම විලාසිතාව අනුගමනය කරනු දක්නට ලැබේ. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියානු කණ්ඩායමයි. වත්මන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් මෙම විලාසිතාව අනුගමනය නොකරන්නේ ගාම්බීර් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකි. ඒ තරමටම මෙම විලාසිතාව ජනප්‍රිය වී ඇති අතර ඉනුදු ඉදිරියෙන්ම සිටින්නේ විරාට් කෝලි, මුරලි විජේ, ෂිකර් ධවාන්, රවීන්ද්‍ර ජඩේජා යන ක්‍රීඩකයන්ය. ජඩේජා හා ධවාන් සතු ආකර්ශනීය උඩු රැවුල හේතුවෙන් ඔවුන්ගේ රැවුල් විලාසිතාවට අමතර වටිනාකමක් එකතු වී තිබේ.

මෙවර IPL තරගාවලියත් සමග මෙම රැවුල් විලාසිතාව බහුල ලෙස ව්‍යාප්ත වූ අතර එහි ප්‍රමුඛයා ලෙස විරාට් කෝලි සඳහන් කළ හැකිය. එයට හේතුව වන්නේ මීට පෙර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙම විලාසිතාව අනුගමනය කළද ඒ කිසිවෙකුට මෙය උන්මාදයක් බවට පත්කිරීමට නොහැකි විය. (මම වැරදි නං කියපල්ලා) වැදගත්ම කරුණ වන්නේ වෙනදා ක්‍රීඩකයන්ගේ විලාසිතා ප්‍රේක්ෂකයන් උන්මාදයක් සේ වැළඳ ගත්තද මෙවර එය ක්‍රීඩකයන් විසින්ම උන්මාදයක් සේ වැළඳගැනීමයි.

මීට පෙර කේන් රිචඩ්සන්, ෂහීඩ් අෆ්රිඩි, ඩැනියෙල් විටෝරි, මාටින් ගප්ටිල්, කේන් විලියම්සන් වැන්නන් මෙම විලාසිතාව භාවිතා කළ අතර ඔවුන්ට එය උන්මාදයක් බවට පත්කිරීමට නොහැකි විය.

මෙම විලාසිතාව අනුගමනය කරන ක්‍රීඩකයන් අවම ප්‍රමාණයක් සිටින්නේ ශ්‍රී ලංකාව වියහැකිය. එයට හේතුව ධනුෂ්ක ගුණතිලක හා චාමර කපුගෙදර පමණක් මෙම විලාසිතාව භාවිතා කිරීමයි. චන්දිමාල් හා තිරිමාන්න විටින් විට මුහුණේ සම්පූර්ණ රැවුල වවාගෙන සිටියද එය අඛණ්ඩව විලාසිතාවක් ලෙස භාවිතා කරන්නේ නැත.

අතීතයේ මෙවැනි වර්ණවත් රැවුල්කාරයන් අතර මයික් බෙයාර්ලි, විව් රිචඩ්ස්, බිෂන් සිං බෙඩි, ග්‍රෙහැම් ගුච්, ජෝර්ජ් බොනර්, වැන්නන් ඉදිරියන්ම සිටි.

වත්මන් ක්‍රිකට් පිටියේ තවත් රැවුල්කාරයන් පිරිසක් සිටින අතර ඒ ඉතා දිගු රැවුල්කාරයන්ය. මේ වනවිට ඉදිරයෙන්ම සිටින්නේ එංගලන්තයේ මොයින් අලි, දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සහ නවසීලන්තයේ ඇන්ටන් ඩෙව්ෂිස්ය. ඔවුන් අනුගමනය කරමින් අදිල් රෂීඩ් සහ ඉම්රාන් තාහීර් දිගු රැවුල්කාරයන් වීමේ අරමුණින් සිටින බව දක්නට ලැබේ. මෙවැනි රැවුල්කාරයන් විටින් විට ක්‍රිකට් පිටිය තුළින් අපට හමුවන අතර එහි පියා ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ පියා වන ඩබ්.ජී. ග්‍රේස් නම්කළ හැකිය. ඔහු ද ඉතා දිගු රැවුල්කාරයෙකු වන අතර එවැනි රැවුල්කාරයක් කිහිපදෙනෙක් අතීතයේ ක්‍රිකට් පිටියේ වැජඹිණි. මෑත කාලයේදී එවැනි රැවුල්කාරයන් බහුතරයක් හමුවන්නේ පකිස්ථානයෙනි.

මුස්ලිම් ජාතිකයන්ට අනන්‍ය මේ විලාසිතාව අනුගමනය කළ පකිස්ථානු ක්‍රීඩකයන් අතරින් මොහමඩ් යූසුෆ්, සක්ලේන් මුෂ්ටාක්, මුස්තාක් අහමඩ්, සයීඩ් අන්වර් සහ ඉන්සමාම් උල් හක් ඉදිරියෙන්ම සිටී.

උපුල් නිශාන්ත

No comments:

Post a Comment