Tuesday, October 11, 2016

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ දොරකඩින් නැවතුණු අපේ ගිහාන්

එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා එක්වීම යනු ලොවපුරා බොහෝ ක්‍රීඩකයන්ට සිහිනයකි. ලංකාවට ටෙස්ට් වරම් ලැබීමට පෙර එම සිහිනය සැබෑකර ගැනීමට අපේ දක්ෂ ක්‍රීඩකයන් සැළකිය යුතු ප්‍රමාණයක් සමත් විය. ඉනුදු ගිහාන් මෙන්ඩිස් සුවිශේෂී ක්‍රීඩකයෙකු වේ. ඒ ඔහු එංගලන්ත පළමු පෙළ තරගවලදී ලකුණු 20,000 ඉක්මවූ නිසාම නොවේ.


1974 වසරේ සිිට 1993 දක්වා ප්‍රාන්ත තරග සඳහා එක්වූ ගිහාන් මෙන්ඩිස් එහිදී එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට සුදුසුකම් ලබාගත හැකි මට්ටමේ දස්කම් දැක්වීය. එංගලන්ත පුවත්පත් පවා විටින් විට ඒ සම්බන්ධයෙන් ඉඟි පළකර තිබිණි.

එහෙත් කුමන හේතුවක් මත හෝ ටෙස්ට් කණ්ඩායමට සුදුසුකම් ලබාගැනීමට ඔහු වාසනාවන්තයෙකු නොවීය.

ලංකාවේ ඉපිද ලාබාල වියේදීම එංගලන්තයට ගිය ගිහාන් මෙන්ඩිස් 1974 වසරේදී සසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ වරම් හිමිකර ගත් අතර 1985 වසර දක්වා ඔහු සසෙක්ස් ප්‍රාන්තය නියෝජනය කළේය. ඉන්පසු 1993 දක්වා ලැන්කැෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේය. ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කල ගිහාන් මෙන්ඩිස් වේගවත් පහරවලට කැමති එසේම දිගු ඉනිම් ක්‍රීඩා කළහැකි පිතිකරුවෙකි. ප්‍රාන්ත තරගවලදී දැක්වූ දස්කම් හේතුවෙන් ගිහාන්ට 1975 දී සහ 79 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නැයි ආරාධනා කළද ඔහු ඒ සඳහා ඉදිරිපත් නොවීය. එයට ප්‍රධාන හේතුව වූයේ කවදා හෝ එංගලන්ත ජාතික කණ්ඩායමට එක්වීමේ අභිප්‍රායෙන් සිටීමයි.

ඉන්පසු ටෙස්ට් වරම් දිනාගැනීමෙන් පසුද ඔහුට ටෙස්ට් කණ්ඩායමට එක්වන්නැයි ආරාධනා කළද ඒ ආරාධනාවද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. ඒ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට එක්වීමේ පරම පිවිතුරු චේතනාවෙනි. සිය රට වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගැනීමට තිබියදී වෙනත් රටක ජාතික කණ්ඩායම කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන සිටීම යමෙකුට වැරැද්දක් ලෙස පෙනෙනු ඇත. එහෙත් ගිහාන් මුල සිටම එංගලන්තයේ ක්‍රීඩාකල හෙයින්, කුඩා කාලයේ පටන් එංගලන්තයේ ජීවත් වූ හෙයින් එම බලාපොරොත්තුවෙහි කිසිදු වැරැද්දක් නොමැත.

කෙතරම් දක්ෂතා දැක්වුවද කෙතරම් බලාපොරොත්තු තබාගෙන සිටියද ඔහුව එංගලන්ත කණ්ඩායම සඳහා තෝරා නොගැනිණි. එහෙත් එංගලන්ත ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සංචාරක කණ්ඩායමක් සමග තරගවැදීමට ඔහුට අවස්ථාව හිමිවිය. දෛවයේ සරදමකට මෙන් ඔහුගේ ප්‍රතිවාදීන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

එම තරගය ද ලංකාවට සුවිශේෂී තරගයක් විය. එයට හේතුව ලංකාවට ටෙස්ට් වරම් හිමිවන්නේද යන්න එම තරගයේ තීරණය මත රඳා පැවතිණි. එංලන්ත ටෙස්ට් කණ්ඩායමේ සහ ප්‍රාන්ත ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් ටී.සී.සී.බී. කණ්ඩායම නියෝජනය කරමින් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ගිහාන් මෙන්ඩිස් පළමු ඉනිමේ ලකුණු 65 ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී අසන්තාද මෙල් හමුවේ පළමු පන්දු ඕවරයෙන්ම ලකුණු ලබාගැනීමට පෙර ගිහාන් දැවී ගියේය.

අවසානයේ ලකුණු 197 ක ඉලක්කය පහසුවෙන් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේ ටෙස්ට් වරම් හිමිකර ගැනීම තමන් ඉතාම සුදුසු බව ඔප්පු කරමිනි.

මෙම තරගය සඳහා එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් මයික් ගැටිං, ජෝන් එම්බ්‍රියුරි වැන්නන් ක්‍රීඩා කළ අතර වර්ණපුගේ නායකත්වය යටතේ, පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ බොහෝ ක්‍රීඩකයන් මෙම තරගයට ක්‍රීඩා කළේය.

ඇරයුම් පිට ඇරයුම් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකළ, එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වාසනාවන්ත නොවූ ගිහාන් මෙන්ඩිස් පළමු පෙළ තරග 366 කදී ලකුණු 21,436 ක් රැස්කරගෙන ඇති අතර එයට ශතක 41 ක් හා අඩ ශතක 108 ක් ඇතුළත් වේ. සීමිත ඕවර් තරග 313 කදී ශතක 08 ක් හා අඩ ශතක 41 ක් ද සමගින් ලකුණු 8327 ක් රැස් කරගෙන තිබේ. ගිහාන් මෙන්ඩිස් පළමු පෙළ වැඩිම ලකුණු රැස්කරගෙන ඇති ශ්‍රී ලාංකිකයා ද වේ.

ගිහාන් මෙන්ඩිස් වසර කිහිපයක් මෙරට පළමු පෙළ තරග සඳහා සීසීසී සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම් නියෝජනය කර ඇති අතර එවක ප්‍රබල තරගකාරීත්වයක් තිබූ වෙළඳසේවා තරග සඳහා ද ක්‍රීඩා කර තිබේ.

උපුල් නිශාන්ත

No comments:

Post a Comment