Wednesday, October 5, 2016

සීමිත ඕවර් අනාගතය......

මේ වනවිට අපට නැතත් ලොවපුරා ක්‍රිකට් පිටිය උණසුම්ය. ඒ උණුසුම වෙනදාටත් වඩා දැනෙයි. එයට හේතුව ඉතා උද්වේගකර එක්දින තරග කිහිපයක් මේ දිනවල පැවැත්වීමයි.

අද වනවිට එක්දින තරගයක ලකුණු 300 ඉක්මවා යාම සාමාන්‍ය දෙයකි. එසේම එවැනි ඉලක්කයක් හඹාගොස් ජයගැනීම ද සාමාන්‍ය තරග රටාවයි. 20/20 තරගයක නම් ලකුණු 200 ආසන්නයට පැමිණීම පමණක් ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවේ. එවැනි තත්වයක් දක්වා සීමිත ඕවර් තරග රටාව දියුණු වී ඇත.

එහෙත්.........

එම දියුණු තරග රටාවට සාපේක්ෂ්ව අපේ කණ්ඩායම සිටින්නේ කොතැනද යන්න සලකා බැලීම වැදගත්ය.

ඒ සඳහා මෙම වසර තුළ අපේ කණ්ඩායම හා අනෙකුත් කණ්ඩායම් පෙන්වා ඇති දක්ෂතා සලකා බලමු.

මෙම වසර තුළදී අප එක්දින තරග 14 ක් ක්‍රීඩා කළ අතර ජයගැනීම හැකිවූයේ තරග 03 ක් පමණි. තරග 08 ක් පරාජය වී තිබේ. ඒ අනුව ජයග්‍රාහී ප්‍රතිශතය 29.16% කි. සෙසු කණ්ඩායම් දෙස බැලීමේදී අප ආසන්නේ සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් පමණි. ඔවුන් තරග 10 කදී තරග 03 ක් පමණක් ජයගෙන තිබේ.

20/20 අංශයෙන් අප තරග 16 කින් ජයගෙන ඇත්තේ තරග 03 ක් පමණි. ඒ අනුව ජයග්‍රාහී ප්‍රතිශතය 18.75% කි. එය 20/20 තරග ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් අතරින් අවම අගය වේ. අප ආසන්නයේ සිටින හොංකොං කණ්ඩායම ද ඔවුන් මුහුණ දුන් තරග 09 න් 02 ක් ජයගෙන තිබේ.

මෙම වසරේ පැවති එක්දින තරගවලදී 29 වතාවක් ලකුණු 300 ඉක්මවා තිබේ. එහෙත් කණගාටුවට කරුණ වන්නේ අපේ කණ්ඩායම ලකුණු 300 ඉක්මවා ඇත්තේ තරග 03 කදී පමණක් වීමයි. ඉන් තරග දෙකක්ම අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අතර අනෙක් තරගය එංගලන්තය සමග පැවැත්විණි. ශ්‍රී ලංකාව මෙම වසරේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 377 අයර්ලන්තයට එරෙහිව වාර්තා කළේ සික්කුගේ ප්‍රසන්න එල්ල කළ පොල්අඩි ප්‍රහාරයට පින්සිදු වන්නටය.

එංගලන්තය අවස්ථා 06 කදී ලකුණු 300 ඉක්මවා ඇත්තේ අප සතුව තිබූ එක්දින තරගයක වැඩිම ලකුණු වාර්තාවද ඔවුන්ගේ නමට ලියා ගනිමිනි. මීට අමතරව ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අවස්ථා 05 කදී ද පකිස්ථානය සහ ඉන්දියාව අවස්ථා 04 කදී ද ලකුණු 300 ඉක්මවා තිබේ.

20/20 තරගවලදී 200 ඉක්මවූ ඉනිම් 11 ක් වාර්තා වන අතර ශ්‍රී ලංකාව රැස්කරගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ නවසීලන්තයට එරෙහිව වාර්තා කළ ලකුණු 179 යි.

මේ අනුව පැහැදිලි වන්නේ සීමිත ඕවර් තරගවලින් අනෙක් කණ්ඩායම් දක්ෂතා වර්ධනය කරගනිමින් සිටියදී අප පියවරෙන් පියවර පසුපසට යමින් සිටින බවයි.

ඔබට එක්දින තරගයක ලකුණු 300 ඉක්මවා යා නොහැකි නම්, 20/20 තරගයක ලකුණු 200 ආසන්නයට පැමිණීමට නොහැකි නම් ජයග්‍රහණය සිහිනයක් වනු ඒකාන්තය.

වර්තමානය වනවිට බොහෝ කණ්ඩායම්වල ඒ ඒ තරග රටාවන්ට ගැලපෙන ස්පෙෂලිස්ට්ලා නිර්මාණය කරගෙන ඇති අතර එම ක්‍රීඩකයන් ඒ ඒ තරග රටාවන්හි දක්ෂතා පෙන්වීම හේතුවෙන් එම කණ්ඩායම් සියලු අංශයන්ගෙන් ජයග්‍රහණ ලබා ගනී. විශේෂයෙන් එක්දින හා 20/20 තරගවල වේගයෙන් පන්දුවට පහර දෙන සහ ඕනෑම මොහොතක තරගය වෙනස් කළහැකි විශේෂ පිතිකරුවන් සිටින අතර අපට ඇති බරපතලම අඩුපාඩුව එයයි. වත්මන් කණ්ඩායමේ සිටින බහුතරය පිතිකරුවන් එක හා සමාන දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් වන අතර වෙනස් තරග රටාවක් පෙන්නුම් කරන්නේ කුසල් ජනිත් පෙරේරා පමණි. අවාසනාව වන්නේ ඔහු ද නිරන්තර දක්ෂතා අතර නොමැතිවීමයි.

මෙම වසරේදී එක්දින තරගවල ලකුණු 200 ට වඩා ලබාගත් කිසිදු ලාංකික පිතිකරුවෙක් ප්‍රහාරක වේගය 100 ක ආසන්නයට හෝ පැමිණ නැති අතර 20/20 තරගවල ද ඔවුන්ගේ ප්‍රහාරක වේගය 120 ට වඩා වැඩි නොවේ. එසේ තිබියදී විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම සීක්කුගේ වැන්නකුගේ පොල්අඩි ප්‍රහාරයකින් පමනක් සිදුවන්නකි.
එංගලන්තයේ ජේසන් රෝයි, ඇලෙක්ස් හේල්ස්, මෝගන්, බට්ලර්, ඕස්ට්‍රේලියාවේ මැක්ස්වෙල්, වෝනර්, දකුණු අප්‍රිකාවේ මිලර්, ඩුමිනි, රොසොව්, පකිස්ථානයේ අසාම් වැන්නන් එක මොහොතකින් තරගය කණපිට පෙරලිය හැකි පිතිකරුවන්ය. එවැනි භයානක පිතිකරුවෙකු නොමැතිවීම අප මුහුණ දෙන බරපත ගැටලුවකි.

අනෙක් කාරණය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයන්ය. අප තුන් ඉරියව් ක්‍රීඩකයන් යැයි කියන්නේ කෙසේ හෝ පන්දු ඕවර් 4 ක් 5 ක් යැවිය හැකි ලකුණු 20 ක් 30 ක් ලබාගත හැකි කලාතුරකින් ලකුණු 40 ක් 50 ක් ලබාගන්නා ක්‍රීඩකයන්ටය. එහෙත් නියම තුන් ඉරියව් ක්‍රීඩකයන් යනු ඕනෑම තත්වයක් තුළ පන්දු ඕවර 10 ම යැවිය හැකි ඕනෑම අවස්ථාවකදී කඩුල්ලේ ස්ථාවර වියහැකි ක්‍රීඩකයෙකි. ඒ අනුව බලන කල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් පමණි. තිසර පෙරේරාට යමක් කළහැකි වුවද ඔහුට ලබාදෙන අවස්ථාවලින් ඔහු ප්‍රයෝජන ලබාගන්නේ නැත. බාග පන්දු යවන්නන්ගෙන් හෝ බාග පිතිකරුවන්ගෙන් හෝ තරග ජයගත නොහැකි බවත් පොල්අඩිකාරයන් අවශ්‍ය සය සාමාජික සැහැල්ලු පන්දු තරගවලට බවත් ඉතා ඉක්මනින් අප අවබෝධ කරගත යුතුය.

මෙම වසරේ පැවති සීමිත ඕවර් තරගවලදී කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් හයේ පහර 20 ක් හෝ එල්ල කර නොමැති අතර වැඩිම හයේ පහර එල්ල කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඒ හයේ පහර 16 කි. මේ දිනවල පැවැත්වෙන එක්දින තරගවලදී සාමාන්‍යයෙන් එක් ඉනිමකට හයේ පහර 08 ක් 10 ක් පමණ එල්ල වන අතර අපේ ක්‍රීඩකයන්ගේ තරම ඉන් පැහැදිලි වේ.
වසර අවසානයේදී අප දකුණු අප්‍රිකාවේ සංචාරයකට එක්වීමට නියමිත අතර මේ දිනවල දකුණු අප්‍රිකානු කණ්ඩායම දක්වන දක්ෂතා අනුව අපට පූර්ණ තරගාවලි පරාජයක් හිමිවීම අනිවාර්ය වේ. එසේ නොවන්නේ නම් ඒ සික්කුගේ වැන්නකුගේ පොල්අඩි ප්‍රහාරයක් හේතුවෙනි. එහෙත් එවැනි පොල්අඩි සැමදා බලාපොරොත්තු විය නොහැකිය.

අවසාන වශයෙන් කිවයුත්තේ සීමිත ඕවර් තරග රටාවට ඉතා ඉක්මනින් අනුගතවීමට අපට නොහැකි වුවහොත් ඉතා ඉක්මනින් දියුණු වන ඇෆ්ගනිස්ථානය වැනි කණ්ඩායම් පවා අපව අභිබවා යෑම නුදුරේදීම සිදුවනු ඇති බවයි.

උපුල් නිශාන්ත

No comments:

Post a Comment