Sunday, February 26, 2017

ඉන්දියානු විරෝධය.............

ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව අන්ත පරාජයක් ලැබූ අතර එය ශ්‍රී ලංකා බුකී ක්‍රිකට්ලෝලීන්ගේ අමන්දානන්දයට හේතුවී තිබේ. අනෙක් පැත්තෙන් මීට සතියකට පෙර ක්‍රිකට් ලෝලීන්ගේ සතුරා වූ කැන්ගරුවන් මේ වනවිට වීරයන් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් අමුතුම ජීවීන් කොටසකි. ඔවුන්ට අද වීරයා වන කෙනා හෙට සතුරෙකි. අද නිවැරදි ලෙස දකින ක්‍රීඩකයන් තව දිනකින් දෙකකින් පට්ට කුජීතය. මෙවැනි ක්‍රීඩාලෝලීන් පිරිසක් අඟහරු ලෝකයේවත් සිටිය නොහැකි බව නම් ඒකාන්තය.

කියන්නට යන්නේ ඒ ගැන නොවේ.

කාලාන්තරයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ ප්‍රධාන සතුරා ඉන්දියාවයි. එබැවින් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන ඕනෑම රටකට අපේ ක්‍රීඩාලෝලීන්ගේ උපරිම සහයෝගය හිමිවේ. අපේ ක්‍රීඩාලෝලීන්ට විරාට් කෝලි වහකදුරු මෙන්ය. රවිචන්ද්‍රන් අශ්වින් නයාට අඳුකොල මෙනි. ඔවුන් ඒ සඳහා දක්වන ප්‍රබල හා එකම සාක්ෂිය මෙම ක්‍රීඩකයන් හිස උදුම්මවා ගත් උඩඟු චරිත බවයි.

එවැනි වර්ගයේ ක්‍රීඩයක් ඉන්දියාව තුළ කවදත් හිඟ නොවීය. අතීතයේ සිටි කපිල් දේව්, මනෝජ් ප්‍රභාකර්, අජේ ජඩේජා, ජවගල් ශ්‍රීනාත් කුකුල් කේන්තිකාරයන් ගොන්නට වැටේ. වත්මන් කණ්ඩායම දෙස බැලූවිට ඉෂාන්ට් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා, උමේෂ් යාදව්, ෂිකාර් ධවාන් එම කුලකටය අයත් ක්‍රීඩකයන්ය. එහෙත් ඔවුන්ට අපේ ක්‍රීඩාලෝලීන් දැඩි විරෝධයක් එල්ල නොකරයි. එයට ද ප්‍රබල හේතුවක් තිබේ. ඒ ඔවුන් කෝලි හා අශ්වින් තරම් දක්ෂයන් නොවීමයි. අපේ දැඩි විරෝධය හැමවිටම එල්ල වන්නේ දක්ෂ ක්‍රීඩකයන් ඉලක්ක කර ගනිමිනි.

ඒ අනුව විරාට් කෝලි යනු ෆ්ලැට් පිච්වල පමණක් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකි. ඔහුගේ විශේෂ දක්ෂතාවයක් නොමැත. ඉන්දියාවේදී පමණක් දක්ෂතා දක්වයි. අශ්වින් යනු නොම්මර එකේ චකර් කෙනෙකි. ඔහුද දක්ෂතා දක්වන්නේ ඉන්දියාවේ ඔහුටම තැනූ තනතිලිවල පමණි.

එහෙත් අමතක නොකළ යුතු කරුණ වන්නේ විරාට් කෝලි යනු ෆෝමැට් තුනේම 50 ට වැඩි සාමාන්‍යයක් රඳවාගෙන සිටින ලොව එකම පිතිකරුවා බවය. එසේම ටෙස්ට් ශතක 16 ක් සහ එක්දින ශතක 27 ක් රැස්කර ගත් ක්‍රීඩකයෙකි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රීඩාකළ තරගවලදී 60 ට වැඩි ටෙස්ට් සාමාන්‍යයක් හිමි ක්‍රීඩකයෙකි. ක්‍රීඩා කළ සියලු ටෙස්ට් රටවලට එරෙහිව ටෙස්ට් ශතක රැස්කරගෙන ඇති ක්‍රීඩකයෙකි.

එසේම අශ්වින් යනු අඩුම තරග ප්‍රමාණයකින් ටෙස්ට් කඩුලු 250 ක් බිඳහෙළූ ක්‍රීඩකයාය. වයස ප්‍රමාණවත් වුවහොත් මුරලිගේ ටෙස්ට් කඩුලු 800 වාර්තාවට ළඟාවිය හැකි බවට විශ්වාස කළහැකි එකම ක්‍රීඩකයාය. ඔහු ආසියාවෙන් පිට තනතීරුවලට දක්ෂතා නොදක්වන බව බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ මතයයි. ඔහු පමණක් නොව ආසියානු දඟපන්දු යවන්නන් බොහෝදෙනා ආසියාවෙන් පිට අසාර්ථකය. යම් පමණකට හෝ සාර්ථ වී ඇත්තේ මුරලි පමණි. එහෙත් ඒ 2010 ට පෙරයි. රංගන හේරත් ඕස්ට්‍රේලියාවේදී යම් මට්ටමකට දක්ෂතා දක්වා ඇති අතර ඔහු ඉන්දියාවේදී හා බංග්ලාදේශයේදී පවා අසාර්ථකය.

හෙට දිනයේදී වෙනත් ඉන්දියානු පිතිකරුවෙකු කෝලිට වඩා දක්ෂතා දැක්වුවහොත් අපේ විරෝධය ඔහු වෙත එල්ලවනු නිසැකය. එසේම අශ්වින්ට වඩා රවීන්ද්‍ර ජඩේජා හෝ ජයන්ත් යාදව් දක්ෂතා දැක්වුවහොත් අශ්වින් විරෝධය ඔවුන් වෙත එල්ල වනු නිසැකය. අපේ ප්‍රේක්ෂකයන්ට වෙනත් රටවල දක්ෂතා දක්වන ක්‍රීඩකයන් වහකදුරු මෙනි. එයට එකම හේතුව අපේ රටේ ක්‍රීඩකයන්ට වඩා ඔවුන් දක්ෂතා අතර සිටීමයි. එයට කළයුත්තේ අපේ ක්‍රීඩකයන් විවේචනය කිරීම හැර ඔවුන්ගේ දක්ෂතා අවතක්සේරු කිරීම නොවේ. මේ වනවිටත් මුරලි සිටියා නම් අශ්වින් ගැන මෙතරම් කතා නොකරනු ඇත. එසේ නම් ඔහු සාමාන්‍ය ක්‍රීඩකයෙකු පමණි.

එහෙත්..............
සැබෑ විරෝධය එල්ලවිය යුත්තේ ඉන්දීය ක්‍රීඩකයන්ටද ?

ඉන්දියාවේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට විරෝධය දක්වන, අපහාස කරන, දක්ෂතා අවතක්සේරු කරන අපේ ක්‍රීඩාලෝලීන් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය අනුගමනය කරන ප්‍රතිපත්ති කිසිවක් නොපෙනේ. ඉන්දීය ක්‍රීඩකයන්ගේ දත්ත වාර්තා පිරිසක්සන ඔවුන්ට පරිපාලකයන්ගේ පැටිකිරිය අවශ්‍ය නැත.

මේ වනවිට ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා ඉන්දීය ආධිපත්‍යය නැමැති බූවල්ලා සිය අඬුපඬු විහිදුවා හමාරය. එවැනි පසුබිමක අපේ ක්‍රීඩාලෝලීන් තවමත් කෝලි විරෝධය, අශ්වින් විරෝධය අවුලුවමින් ආතල් ගනිමින් සිටී.

පසුගියදා පැවති ICC මහ පුටුවල හමුවේදී ඉන්දීය ආධිපත්‍යය මැඩලීම සඳහා යම් උත්සායක් ගෙන තිබුණද එය සාර්ථක වේදැයි තවමත් සැකසහිතය. ඒ මේ වනවිටත් ලෝක ක්‍රිකට් ඉන්දීය ආධිපත්‍යයට නතුවී අවසන් නිසාය. අදාල යෝජනාව පරාජය කිරීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සොයාගැනීම සඳහා ඉන්දියාවට වුවමනා වන්නේ සල්ලි කුට්ටි කිහිපයක් හා සිත සනසන තරගාවලි කිහිපයක් පමණි. ඒ නිසා එම යෝජනාවට සිදුවන්නේ කුමක්ද යන්න අප්‍රේල් මාසය වනවිට හොඳින්ම බලාගත හැකිවනු ඇත.

ලොව පුරා ක්‍රිකට් තරගාවලි පිටුපස සිදුවන මුදල් ඔට්ටු තැබීම් පිටුපස සිටින බොහෝ දෙනා ඉන්දියානු ජාතිකයන්ය. මේ ඉන්දියානු බුකීකරුවන් කෙතරම් සාර්ථකදැයි කිවහොත් තරගාවලි පැවැත්වෙන්නේ කුමන ආකාරයෙන්ද, කුමන රටවල් අතරද යන්න පවා තීරණය කිරීමට ඔවුන් සමත්ය. මොවුන් හා සැසඳීමේදී පකිස්ථානු සුපර් ලීගය පිටුපස සිටින මැද පෙරදිග බුකීකරුවන් අඳබාලයන් බව පකිස්ථානු සුපර් ලීගය හරහා අනාවරණය වන පුවත්වලින් පැහැදිලි වේ.

මෙය හරියට ලංකාවේ දේශපාලනය මෙනි. දැඩි සයිටම් විරෝධයක් මතුව එද්දී ඊට සාපෙක්ෂව නවක වද සිදුවීමක් එලියට එයි. සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යද්දී චතුරගේ ගොන් කතා එලියට එයි. එවිට සිදුවන්නේ සමස්ත සමාජයම සයිටම් විරෝධී කතිකාව අතහැර දමා නවක වද සිදුවීමේ එල්බගැනීමයි. භාණ්ඩ මිල ඉහළ යාම හරහා ආණ්ඩුවට එල්ලවන විරෝධය බැසගොස් චතුරගේ ගොන්කතා ආතල් එක ඉදිරියට ඒමයි.

ඉන්දීය විරෝධය අරභයා අපේ ක්‍රිකට්ලෝලීන්ද අනුගමනය කරන්නේ මෙවැනි ක්‍රමවේදයකි. එනම් සැබෑ විරෝධය එල්ල වියයුතු ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍යය පසෙක තබා එම විරෝධය දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කිහිපදෙනෙකෙු වෙත ලඝු කිරීමයි. ඒ හරහා සිදුවන අනෙක් දෙය වන්නේ කෝලි විරෝධය හා අශ්වින් විරෝධය උලුප්පා දක්වන ක්‍රිකට්ලෝලීන් වක්‍රාකාරව ඉන්දීය මහා ක්‍රිකට් ආධිපත්‍යයට සේවය කිරීමයි. එය හරියට ආණ්ඩු විරෝධය මැඩපැවැත්වීමට චතුර ගොන්කතා කීමෙන් සිදුකරන මෙහෙවර මෙනි. මෙම තත්වය දන්නේ නම් ඉන්දීය බුකීකරුවන් අශ්වින් විරෝධී, කෝලි විරෝධී අපේ ක්‍රිකට්ලෝලීන්ට දහසින් බැඳි පියලි ලබාදෙනු නිසැකය.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙම සැබෑ තත්වය පෙන්වා දෙන අප ද්‍රෝහීන් වීමයි. කෝලි විරෝධය හා අශ්වින් විරෝධය ප්‍රතික්ෂේප කරන හා විවේචනය කර අප අංක එකේ ද්‍රෝහීන් වන අතර එක්කෝ අම්මා දඹදිව වඳින්නට හෝ ඉන්දියාව ගොස් තිබේ. එසේත් නැතහොත් දෝනි හෝ කෝලි නැතහොත් අශ්වින් තාත්තා නැති දවසක අපේ ගෙදර පැමිණ තිබේ. එහෙත් හොඳින් සිතා බැලුවහොත් වඩාත් ඉන්දියාවට සේවය කරන්නේ ඉන්දීය ආධිපත්‍යය විවේචනය කරන අප ද නැතහොත් අශ්වින් විරෝධය හා කෝලි විරෝධය හරහා ඉන්දීය ආධිපත්‍යය ආරක්ෂා කරන ඔබදැයි තේරුම් යනු ඇත. ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍යයට අභියෝග කිරීමට අපි වැනි සිංහලෙන් පොරටෝක් දෙන කබ්බන්ට හැකියාවක් නොමැත. එහෙත් එම ආධිපත්‍යය හරිහැටි අවබෝධ කරගැනීමට අසමත්, ඉන්දීය විරෝධය අඩපන කරන බුකී ක්‍රිකට් වීරයන්ගේ මොළ සේදීමට මෙයින් අංශු මාත්‍රයක හෝ සේවයක් සිදුවනු ඇත. මේ උත්සාහය ඒ වෙනුවෙනි.

මහත්වරුනි, කෝලි විරෝධයට හා අශ්වින් විරෝධයට තවදුරටත් සූදානම්ද ?

ඇඩ්මින් #නාකියා

No comments:

Post a Comment