Friday, May 19, 2017

IPL සඳහා මග පෑදූ ICL - 1

ඉන්දියානු ක්‍රිකට් ලීගයේ දසවැනි පියවර මේ වනවිට ඉන්දියාවේදී පැවැත්වේ. එය මේ වනවිට අවසන් සහ උත්කර්ෂවත් අවසානය කරා පැමිණෙමින් තිබේ. දසවැනි පියවර අවසන්වීමට ඉතිරිව ඇත්තේ තවත් තරග දෙකකි.

මේ සූදානම ඒ ගැන කතාකරන්නට නොවේ. ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ උපත පිළිබඳව සොයා බලන්නටයි.

ඉන්දියානු ප්‍රීමියර් ලීගය ආරම්භ වන්නේ 2008 වසරේදීය. එතැන් පටන් වසරින් වසර ජනප්‍රිය වෙමින් මේ වනවිට වසර 10 ක් සපුරා ඇති අතර සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝදෙනා පවසන්නේ IPL ප්‍රමුඛ ප්‍රීමියර් ලීග ක්‍රිකට් ක්‍රීඩාවට පිළිලයක් වී ඇති බවයි.

වර්තමානයේ IPL නරඹන බොහෝ ශ්‍රී ලාංකිකයන් එහි ඉතිහාස කතාව නොදන්නා අතර මෙම ලිපි පෙලෙහි අරමුණ ඒ පිළිබඳව විමසා බැලීමයි.

2003 වසර වනවිට එංගලන්තය තුළ 20/20 ක්‍රිකට් නමින් නව සංකල්පයක් ඇති වූ අතර එය අතිශයින් ජනප්‍රිය විය. එයට හේතුව අවම කාලයකදී උද්වේගකර ක්‍රීඩා රටාවක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබීමයි. 2003 වසරේ එංගලන්ත ප්‍රාන්ත අතර පැවැත්වූ 20/20 තරගාවලිය ලොව පළමු නිළ 20/20 තරගාවලියයි. ඉන්පසු 2004 වසරේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව 20/20 පළමු පෙළ තරගාවලි ආරම්භ කළ අතර 2005 වසරේදී ලොව පළමු අන්තර්ජාතික 20/20 තරගය පැවත්විණි. ඒ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතරයි.

කෙමෙන් කෙමෙන් මෙම අලුත් තරග රටාව ලොවපුරා ව්‍යාප්ත වූ අතර ඉතා ඉක්මනින් ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට සමත් විය.

2007 වසරේදී ඉන්දියානු ව්‍යාපාරිකයන් පිරිසක් එවකට යුරෝපයේ ජනප්‍රියව තිබූ පාපන්දු ලීග අනුගමනය කරමින් 20/20 ක්‍රිකට් තරග සඳහා තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සූදානම් වූහ. මේ සඳහා මූලිකත්වය ගත්තේ ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරිකයෙකු වන Essel Group හි හිමිකරු සුභාෂ් චන්ද්‍රා ය. සුප්‍රකට Zee Television ආයතනය ද එම එසෙල් ගෘෘප් සමූහයට අයත් රූපවාහිනී ආයතනයකි.

ඔහු වටා තවත් කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසක් එක් වූ අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ද බිලිබා ගැනීමට ඔවුන් සමත් විය. ඒ අනුව කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසගේ අවශ්‍යතාවය අනුව කපිල් දේව්, කිරාන් මොරේ, සන්දිප් පටිල්, මදන් ලාල්, බල්වින්දර් සිං සන්දු වැනි ප්‍රවීනයන් පිරිසක් එක්වූහ.

මෙම පිරිස කෝටිපතියන්ගේ මුදල් මත පාවෙමින් වහ වහා ක්‍රියාත්මක වූ අතර ක්‍රිකට් ලීගය සඳහා වැඩපිළිවෙලක් සකස් කළහ. ඒ අනුව තරගාවලිය කණ්ඩායම් හයකින් සමන්විත වන අතර එක් කණ්ඩායමක් සඳහා ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ ප්‍රාන්ත ක්‍රීඩකයන් අටදෙනෙකු අයත් වේ. මීට අමතරව විදෙස් ක්‍රීඩකයන් හතරකි.


තරගාවලිය ඉන්දියානු ක්‍රිකට් ලීග් (ICL) යනුවෙන් හැඳින්වෙන අතර සියලු ක්‍රීඩකයන්ට දහසින් බැඳි පියලි ලබාදීමට තරගාවලිය පිටුපස සිටි ව්‍යාපාරිකයන් ඉදිරිපත් විය.
තරගාවලිය සංවිධානය වන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. එක් අරමුණක් වූයේ ව්‍යාපාරිකයන් විසින් උපයන ලද කලු සල්ලි නීත්‍යනුකූල මුදල් බවට පත්කිරීමයි. අනෙක් අරමුණ මුදල් ඔට්ටු තැබීම හරහා තරගාවලිය අංක එකේ ජාවාරම් පිටියක් බවට පත්කර ගැනීමයි.

මෙම ව්‍යාපාරිකයන් තරගාවලිය ආරම්භ කිරීමේදී කිසිවිටෙකත් ඉන්දියානු ක්‍රිකට් ආයතනය සමග කිසිදු ගනුදෙනුුවක් සිදු නොකළ අතර එය හුදෙක් හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට පමණක් සීමා විය. මේ නිසාම තරගාවලියේ සවිධාන කටයුතු ආරම්භයේ පටන් ක්‍රිකට් ආයතනයේ විරෝධය එල්ල වූ අතර එය සමනය කරගැනීමට සංවිධායකයන්ට කිසිදු වැඩපිලිවෙලක් නොවීය.

ක්‍රිකට් ආයතනය විරෝධය පළකිරීමෙන් නොනැවතී මේ සඳහා එක්වූ කපිල් දේව් සහ කිරාන් මොරේ යන හිටපු ක්‍රීඩකයන් දෙදෙනාගේ මාසික විශ්‍රාමික දීමනාවක කපාහරින බව නිවේදනය කළේය. කෙසේ වෙතත් කෝටිපති ව්‍යාපාරිකයන්ගේ කලු සල්ලිවලින් මත්ව සිටි කපිල් සහ කිරාන් එම විශ්‍රාමික දීමනාව (ඉන්දියානු රුපියල් 35,000) සොච්චමක් සේ සලකා අත්හැර දැමීමට තීරණය කළේය.

එපමණකින් නොනැවතී ICL තරගාවලිය තහනම් තරගාවලියක් ලෙස නම් කරමින් මේ සඳහා සහභාගි වන ක්‍රීඩකයන් ඇතුළු සියලුදෙනාට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවීමට ද ඉන්දියානු ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. මෙය ICL සංවිධායකයන්ට එල්ල වූ මරු පහරක් වූ අතර ඒ නිසා තරගාවලිය කෙරෙහි බලාපොරොත්තු රඳවාගෙන සිටි බොහෝ ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු දියකර හැරීමට මෙම තීරණය සමත් විය.

ක්‍රිකට් ආයතනයේ තහනම හමුවේ ICL අනාගතය කුමක් වේද ?
නැවත හමුවෙමු.....

නාකියා

No comments:

Post a Comment