Friday, May 19, 2017

චැම්පියන්ස් කුසලාන ඉතිහාසය - 02

පළමු තරගවලිය බංග්ලාදේශයේදී

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු පියවර 1998 වසරේදී බංග්ලාදේශයේදී පැවැත්විණි. මෙම තරගාවලිය විල්ස් ඉන්ටර්නැෂනල් කප් ලෙස නිළ වශයෙන් හැඳින්වූ අතර එහෙත් බහුල ලෙස භාවිතා වූයේ මිනි වර්ල්ඩ් කප් ලෙසයි.

නොකවුට් හෙවත් පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙස පැවැත්වූ මෙම තරගාවලිය සඳහා එවකට ටෙස්ට් ක්‍රීඩා කළ රටවල් 9 පමණක් සහභාගි විය.

මෙම තරගාවලිය පැවැත්වීම සඳහා බංග්ලාදේශයේ ඩකා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඇමරිකාවේ ෆ්ලොරිඩා යන නගර තෝරාගෙන තිබූ අතර අවසානයේ බංග්ලාදේශයේ ඩකා නගරය තරගාවලියේ සත්කාරකත්වය දිනාගැනීමට සමත් විය. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරගාවලිය ආරම්භ කිරීමට හැකිවේද යන ගැටලුව පැනනැගි අතර එවැනි තත්වයක් උදා වුවහොත් තරගාවලිය ඉන්දියාවේ කල්කටා නගරය වෙත විතැන් කිරීම සඳහා අයිසීසීය මෙන්ම ඉන්දියාව ද සූදානමින් සිටියේය. කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ වනවිට ඩකාහි කාලගුණය යහපත් වූ අතර වැස්සෙන් බාධා එල්ල වූයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු අවසන් පූර්ව තරගය සඳහා පමණි.

සිම්බාබ්වේ (ඇලස්ටෙයාර් කැම්බෙල්), නවසීලන්තය (ස්ටීවන් ෆ්ලෙමින්), එංගලන්තය (ඇඩම් හොලිඔක්), දකුණු අප්‍රිකාව (හන්සි ක්‍රොන්ජේ), ඉන්දියාව (මොහමඩ් අසරුඩීන්), ඕස්ට්‍රේලියාව (ස්ටීව් වෝ), ශ්‍රී ලංකාව (අර්ජුණ රණතුංග), බටහිර ඉන්දීය කොදෙව් (බ්‍රයන් ලාරා), පකිස්ථානය (ආමිර් සොහෙල්) තරගාවලිය සඳහා එක්වූ කණ්ඩායම් වූ අතර එංගලන්තය නවක ක්‍රීඩකයෙකු වූ ඇඩම් හොලිඔක්ගේ නායකත්වයෙන් යුතු දෙවන පෙළ කණ්ඩායම්ක් තරගාවලිය සඳහා සහභාගි කරවීය. එයට හේතුව ලෙස දැක්වුනේ අළුබඳුන තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කරවීමට අවශ්‍ය බවයි.

තරගාවලිය තරග 8 කින් සමන්විත වූ අතර අර්ධ අවසන් පූර්ව තරග 4 ක් අවසන් පූර්ව තරග 2 ක් හා අවසන් තරගයට අමතරව පෙර අර්ධ අවසන් පූර්ව තරගයකින් තරගාවලිය ආරම්භ විය. රටවල් 9 ක් සහභාගි වීම නිසා එවකට ශ්‍රේණිගත කිරීම්වල 8 සහ 9 යන ස්ථානවල සිටි නවසීලන්තයට සහ සිම්බාබ්වේ කණ්ඩායමට පෙර අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගිවීමට සිදුවිය. තරගාවලියේ තරග සියල්ල ඩකා බංගබන්දු ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව ද දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් කොදෙව්වන් ද අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. කෙසේ වෙතත් තරගයට වැස්සෙන් බාධා සිදු නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයේ දොරටු විවර කරගැනීමට හැකියාව තිබිණි.

1998 නොවැම්බර් පළමුවැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දු යැවීම තෝරාගත් අතර ඔහුගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 245 ක් පමණි. ආරම්භක පිතිකරු ෆිලෝ වොලස් ලකුණු 103 ක් ලබාගත් අතර කාල් හූපර් ලකුණු 49 ක් සහ සිවනරීන් චන්ද්‍රපෝල් ලකුණු 27 ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී එවකට නවක ක්‍රීඩකයෙකු වූ ජැක් කලීස් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් ඕවර 47 කදී කඩුලු 6 ක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කරගත් අතර නායක ක්‍රොන්ජේ ලකුණු 61 ක් ලබාගැනීමට සමත් විය. මීට අමතරව මයික් රින්ඩ්ල් ලකුණු 49 ක් සහ කලිස් ලකුණු 37 ක් ලබා ගත්තේය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ ජැක් කලිස් අවසන් තරගයේ වීරයා විය. එපමණකින් නොනැවතී තරගාවලියේ වීරයා සම්මානය ද ඔහු නතුකර ගත්තේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා (8) මෙන්ම දෙවැනි වැඩිම ලකුණුලාභියා (164) ලෙස සුපිරි දස්කම් දැක්වීම හේතුවෙනි.

තරගාවලිය පුරා දකුණු අප්‍රිකානුවන්ගේ සහ කොදෙව්වන්ගේ දස්කම් කැපී පෙණුනු අතර 1996 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී මතක හිටින යමක් සිදුකිරීමට අවකාශ නොලැබිණි.

එවකට ටෙස්ට් එළිපත්තේ සිටි බංග්ලාදේශ ප්‍රේක්ෂකයන්ගෙන් තරගාවලියට විශාල ප්‍රතිචාර ලැබුණු අතර ඔවුන්ට ටෙස්ට් තත්වය හිමිවීම සඳහා ඒ උනන්දුව ද අංශු මාත්‍රයකින් හෝ දායක වන්නට ඇත.
ඒ අනුව චැම්පියන්ස් කුසලානයේ මංගල පියවර ජයගැනීමට ක්‍රොන්ජේ ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන් සමත් විය.

කෙන්යාවේ පැවති දෙවැනි පියවරෙන් නැවත හමුවෙමු......

නාකියා

No comments:

Post a Comment