Saturday, May 27, 2017

චැම්පියන්ස් කුසලාන ඉතිහාසය - 4

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තුන්වැනි පියවර 2002 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්විණි.

මෙහි විශේෂත්වය වූයේ ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටකට සත්කාරකත්වය හිමිවීමයි. එසේම මෙතක් පිලිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වූ තරගාවලිය ලීග් ක්‍රමයට පැවැත්වීම ද තවත් විශේෂත්වයක් විය. ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් සියල්ලම මෙරට තරගමාලාවකට එක් වූ පළමු අවස්ථාව ද මෙය වේ.

දෙවන තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 11 ට අමතරව නෙදර්ලන්තයට ද චැම්පියන්ස් කුසලාන දොරටු විවෘත වූ අතර 1996 ලෝක කුසලාන තරගාවලියේ පසු නෙදර්ලන්තයට ජාත්‍යන්තර තරග සඳහා එක්වීමට ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

ලීග් තරග කණ්ඩායම් 12 කොටස් හතරකට බෙදා පැවැත්වූ අතර පළමු කොටසින් ඕස්ට්‍රේලියාව (රිකී පොන්ටින්), නවසීලන්තය (ස්ටීවන් ෆ්ලෙමින්) සහ බංග්ලාදේශය (කාලිඩ් මෂූඩ්) ද දෙවැනි කොටසින් එංගලන්තය (නසර් හුසේන්), ඉන්දියාව (සව්රව් ගංගුලි) සහ සිම්බාබ්වේ (හීත් ස්ට්‍රික්) ද තරග වැදිණි. තෙවැනි කොටසට දකුණු අප්‍රිකාව (ෂෝන් පොලොක්), බටහිර ඉන්දීය කොදෙව් (කාල් හූපර්) සහ කෙන්යාව (ස්ටීව් ටිකොලෝ) අයත් වූ අතර සිව්වැනි කොටසට සත්කාර ශ්‍රී ලංකාව (සනත් ජයසූරිය), පකිස්ථානය (වකාර් යුනුස්) සහ නෙදර්ලන්තය (රෝලන්ඩ් ලෙෆබර්ව්) අයත් විය.

ලීග් කොටසේදී එක් කණ්ඩායමකට තරග දෙකක් ඇතුළත් වූ අතර ප්‍රසාද ලකුණු අනුව කොටස් හතරේ පළමුවැන්නන් අතර අවසන් පූර්ව තරග පැවැත්විණි.

මෙතෙක් පැවති තරගමාලා ද්විත්වය ම එකම ක්‍රීඩාංගනයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර මෙවර තරගමාලාව කොළම ආර්. ප්‍රේමදාස සහ SSC ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබිණි.

තරගාවලිය අතරතුරදී අරවින්ද ද සිල්වා ප්‍රකාශ කළේ තමන් 2003 ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවයි. එමෙන්ම 1996 ලෝකශූර කණ්ඩායේම සාමාජිකයෙකු වූ කුමාර ධර්මසේන වසර කිහිපයකට පසු නැවතත් කණ්ඩායමට නම්කිරීම මෙම තරගාවලියේදී සිදුවිය.

තරගාවලිය අතරතුර තවත් විශේෂ කාර්යයක් සිදුවූ අතර ලෝක ක්‍රිකට් පුහුණකරුවන්ගේ සමුළුවක් පැවත්වීමයි. සැප්තැම්බර් මස25, 26 යන දිනවල කොළඹදී පැවැත්වූ මෙම සමුළුව සංවිධානය කර තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සම්මේලනය විසිනි.

තරගාවලියේ මූලික වටයේ ලීග් තරග සැප්තැම්බර් මස 12 වැනිදා ආරම්භ වූ අතර සැප්තැම්බර් 23 වැනිදා දක්වා තරග 12 ක් පැවැත්විණි. පළමු කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව ද දෙවැනි කාණ්ඩයෙන් ඉන්දියාව ද තෙවැනි කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව ද සිව්වැනි කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. පසුගිය වර ශූරයන් වූ නවසීලන්තයට තරගාවලියේ පළමු වටයෙන්ම සිය ගමන නිමාවට පත්කරන්නට සිදුවිය.

පළමු වඅසන් තරගය සැප්තැම්බර් 25 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්විණි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 261 ක් ලබාගැනීමට සම්ත විය. විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු 59 ක් ලබාගත් අතර යුවරාජ් සිං ලකුණු 62 ක් සහ රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 49 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී පොලොක් කඩුලු 3 ක් හා ඩොනල්ඩ් කඩුලු 2 ක් බිඳහෙළීය. පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුල්ල ලකුණු 14 දී බිඳවැටුණද දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 176 ක සබඳතාවයක් වාර්තා කරන්නට ගිබ්ස් සහ කලිස් සමත් විය. කෙසේ වෙතත් ලකුණු 116 ක් ලබා සිටි හර්ෂල් ගිබ්ස් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර ඉන්පසු තරගයේ පාලනය සියතට ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. තරගය ජයගැනීමට ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට ඕනෑතරම් අවස්ථාව තිබුණද ඔවුන්ගේ මන්දගාමී පිතිහරඹය එයට බාධාකාරී විය. ජැක් කලීස් තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 97 ක් ලබාගත්තද ඒ සඳහා ඔහු පන්දු 133 ක් වැයකර තිබිණි. ගිබ්ස් පිටියෙන් ඉවත්ව යාමෙන් පසු පිටියට පිවිසි පිතිකරුවන්ට ද වේගයෙන් ලකුණු රැස්කිරීමට නොහැකි වූ අතර ඔවුන් කිසිවෙකුටත් ප්‍රහාරක වේගය 70 ඉක්මවීමට නොහැකි විය. මේ නිසා අවසානයේ පන්දු ඕවර 50 නිමාවන විට දකුණු අප්‍රිකානුවන්ට කඩුලු 6 ක් පමණක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 251 ක් පමණි. ඒ අනුව ලකුණු 10 කින් තරගය ජයගත් ඉන්දියාව පිටපිට දෙවැනි වරටත් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

දෙවැනි අවසන් තරගය සැප්තැම්බර් 27 වැනිදා ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීම පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් තරගයේ මුලින් පන්දුවට පහරදීම තෝරාගත්තේය. එය නිවැරදි තීරණයක් නොවන බව පසක් කරමින් ලකුණු 57 ක් වනවිට මුල්පෙළ කඩුලු 4 ම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.ඉන්පසු ඩේමියන් මාටින් සහ මයිකල් බෙවන් සෙමෙන් සෙමෙන් පිටියේ ස්ථාවර වෙමින් පස්වැනි කඩුල්ල සඳහා දිගු සබඳතාවයක් පිහිටුවීමට උත්සාහ කළද එම සබඳතාවය ලකුණු 39 කට සීමා කිරීමට රසල් ආනල්ඩ් සමත් වූයේ ඩේමියන් මාටින් දුවද්දී දැවීයාමකට හසුකර ගනිමිනි. ඉන්පසු බෙවන් සහ වොට්සන් ද ඉක්මනින් දැවීගිය අතර නැවතත් බ්‍රෙට් ලී සහ ෂේන් වෝන් අතර සබඳතාවයක් ඇතිවිය. මෙම ලකුණු 107 දී අටවැනි කඩුල්ල සඳහා ඇරඹූ මෙම සබඳතාවය පන්දු ඕවර 14 ක් පමණ ආරක්ෂා කරගැනීමට ඔවුන් දෙදෙනා සමත් වූ අතර එහිදී සොරාගත් ලකුණු ප්‍රමාණය 46 කි. එහෙත් නායක සනත් ජයසූරියගේ පන්දුවකින් එම සබඳතාවය බිඳීගිය අතර ඉතිි කඩුලු දෙක ඉක්මනින් දවාගැනීමට මුරලිදරන් සමත් විය. 49 වැනි ඕවරයේදී සියලු ඕස්ට්‍රේලියානුවන් දැවීයන විට ඔවුන් රැස් කරගෙන තිබුනේ ලකුණු 162 ක් පමණි.

පන්දු යැවීමේදී මුත්තයියා මුරලිදරන් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත් අතර කුමාර ධර්මසේන ලකුණු 30 කට කඩුලු 2 ක් ද වාස් අරවින්ද හා ජයසූරිය එක් කඩුල්ල බැගින් ද බිඳහෙළීය. අරවින්ද ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ සිය පන්දු ඕවර 10 නිමා කළේ ලකුණු 16 ක් පමණක් ලබා දෙමිනි. ඒ අතර නිලකුණු ඕවර් 2 ක් ද ඇතුළත් වූ අතර වාස් නිලකුණු ඕවර් 2 ක් සහ ධර්මසේන එක් නිලකුණු ඕවරයක් යවා තිබිණි.

ලකුණු 163 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු හදිස්සියකින් තොරව ලකුණු රැස්කිරීම ආරම්භ කළ අතර වෙනදා වේගවත් ප්‍රහාර එල්ල කරන සනත් ජයසූරිය සිය ලකුණු 42 ලබාගත්තේ පන්දු 51 කට මුහුණ දෙමිනි. පන්දු ඕවර 40 කදී සිය ඉලක්කය සපුරා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් දැවීගොස් තිබිණි. මාවන් අතපත්තු ලකුණු 51 ක් හා කුමාර සංගක්කාර ලකුණු 48 ක් වාර්තා කළේය. දක්ෂ පන්දුයැවීමක නිරත වූ අරවින්ද ද සිල්වා තරගයේ වීරයා සම්මානයට පාත්‍ර විය.
සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් තරගය ආරම්භ වූ අතර මෙම තරගය පැවැත්වුනේ ද ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ඕවර් 50 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 244 ක් පමණි. සනත් ජයසූරිය ලකුණු 74 ක් ලබාගත් අතර කුමාර සංගක්කාර ලකුණු 54 ක් වාර්තා කළේය. ඉනිමේ දැවීගිය කඩුලු 5 න් 3 කට ම වගකියන්නට හර්බජාන් සිං සමත් විය.

ඉන්දියානු ඉනිමේ දෙවැනි ඕවරය අවසානයේ වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය අතරමග නතර වූ අතර නැවත් ආරම්භ කිරීමට නොහැකි විය. වර්ෂාව හේතුවෙන් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් වූ අතර ශ්‍රී ලංකාව තරගයක් දියහැකි ලකුණු ප්‍රමාණයක් ලබා නොගත් හෙයින් එක් අතකින් එය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සතුටක් විය.

අවසන් තරගය සඳහා අතිරේක දිනයක් තිබූ හෙයින් පසුදින නැවත අලුත් තරගයක් පැවැත්වීමට තීරණය කෙරිණි. පෙරදින තරගයට ක්‍රීඩා කළ පුලස්ති ගුණරත්න වෙනුවට උපුල් චන්දන ශ්‍රී ලංකා කන්ඩායමට කැඳවා තිබූ අතර ජවගල් ශ්‍රීනාත් වෙනුවට අනිල් කුම්බ්ලේ කැඳවීමට ඉන්දියාව තීරනය කර තිබිණි.

නැවතත් කාසියේ වාසිය දිනූ සනත් ජයසූරිය පන්දුවට පහරදීමට තීරණය කළේ රාත්‍රී කාලයේදී වර්ෂාව පතිතවීමට ඉඩ තිබූ හෙයිනි.

පළමු පන්දුවෙන්ම නායක ජයසූරිය දවාගැනීමට සහීර් ඛාන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු සුන්විය. ලකුණු 71 ක් වනවිට තවත් කඩුලු 3 ක් දවාගන්නට ඉන්දියානු පන්දු යවන්නන් සමත් වුවද ඉන්පසු පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 118 ක් එකතු කිරීමට මහේල සහ රසල් ආනල්ඩ් සමත් විය. කෙසේ වෙතත් මන්දගාමීව ලකුණු රැස්කිරීම හේතුවෙන් අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත් විය. ඕවර 50 අවසානයේදී ඔවුන් ලබාගත්තේ ලකුණු 222 ක් පමණි. මහේල ජයවර්ධන ලකුණු 77 ක් සහ රසල් ආනල්ඩ් ලකුණු 56 ක් ලබාගත් අතර අවසන් භාගයේදී පිටියට පිවිසින චමින්ද වාස් වේගවත් ලකුණු 17 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී සහීර් ඛාන් කඩුලු 3 ක් බිඳහෙළීය.

දිනේෂ් මොන්ගියා සහ විරේන්ද්‍ර ෂෙවාග් ඉන්දියානු ඉනිම ඇරඹුවද මොන්ගියාට කඩුල්ලේ රැඳී සිටීමට අවකාශ ලබා නොදුන් චමින්ද වාස් ඔහු ලකුණු 0 කට දවා ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තරගය පිලිබඳ බලාපොරොත්තුවක් ලබාදෙමිනි.

එහෙත් තරගයේ 9 වැනි ඕවරය අතරතුර වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවූ අතර නැවතත් තරගය ආරම්භ කිරීමට කාලගුණ අවසර ලබාදුන්නේ නැත. ඒ වනවිට ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබාගෙන සිටියේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරගාවලියේ සම ශූරයන් ලෙස නම්කිරීමට තීරණය වූ අතර ICC ප්‍රධාන තරගාවලියක මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාව විය.

තරග 5 කදී ලකුණු 271 ක් ලබාගත් විරේන්ද්‍ර ෂෙවාග් වැඩිම ලකුණුලාභියා වූ අතර සනත් ජයසූරිය තරග 5 කදී ලකුණු 254 ක් රැස් කළේය. මුත්තයියා මුරලිදරන් වැඩිම කඩුලුලාභියා බවට පත්වෙමින් තරග 5 කදී කඩුලු 10 ක් බිඳහෙළීය.

චැම්පියන්ස් කුසලාන සිව්වැනි පියවර සමගින් හමුවෙමු.......

නාකියා

No comments:

Post a Comment