Saturday, May 20, 2017

චැම්පියන්ස් කුසලාන ඉතිහාසය - 3

චැම්පියන්ස් කුසලාන දෙවැනි අදියර 2000 වසරේදී කෙන්යාවේ පැවැත්විණි. මෙම තරගාවලිය එකළ හැඳින්වූයේ ICC KNOCKOUT තරගාවලිය ලෙසයි. සුපුරුදු පරිදි පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්විණි.

පළමු තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය තවදුරටත් ව්‍යාප්ත කරමින් දෙවැනි තරගාවලිය සඳහා බංග්ලාදේශයට සහ සත්කාර කෙන්යානුවන්ට තරගාවලියේ දොරටු විවර විය. ඒ අනුව තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය 11 කි. තරගාවලියේ සියලු තරග නයිරෝබි නුවර ජිම්කානා පිටියේදී පැවැත්විණි.

තරගාවලිය සංවිධානය කරන විට බංග්ලාදේශයට ටෙස්ට් තත්වය හිමිව නොතිබූ අතර ඒ අනුව බංග්ලාදේශය සහ කෙන්යාව ටෙස්ට් තත්වය අහිමි රටවල් ලෙස තෝරාගෙන තිබිණි.

තරගාවලිය ආරම්භවීමට පෙර ආසියානු කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වන බවට රාවයක් පැතිර ගියේය. එයට හේතු වූයේ ICCය මගින් ආසියානු කලාපය සඳහා වෙන්කර වාර්ෂික මුල්‍ය කොටස ප්‍රමාණවත් නොවන බව ආසියානු ක්‍රිකට් ෆෙඩරේෂණය තීරණය කිරීමයි. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා ගැනීමට ICCය සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනු ඇති බවට තරගාවලියට පෙර අනුමාන කළ අතර අවසන් තරගය පකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනු ඇතැයි මත පළවිය. (99 වසරේ ලෝක කුසලාන අවසනා තරගයට සුදුසුකම් ලැබූයේ ද මෙම කණ්ඩායම් දෙකයි.)

ඩැරල් හෙයාර් තරගාවලියේ විනිශ්චය මණ්ඩලයට ඇතුළත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විරෝධතාවය දැක්වූ අතර එයට හේතුවූයේ අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව සහභාගි වියහැකිව තිබූ තරගයේ විනිශ්චය සඳහා හෙයාර් නම්කර තිබීමයි. අවසානයේ ඔහු ඉවත් කර වෙනත් විනිශ්චයකරුවකු නම්කිරීමට ICCයට සිදුවිය.
තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව (ස්ටිව් වෝ), බටහිර ඉන්දීය කොදෙව් (ජිමී ඇඩම්ස්), ඉන්දියාව (සව්රව් ගංගුලි), පකිස්ථානය (මොයින් ඛාන්), ශ්‍රී ලංකාව (සනත් ජයසූරිය), එංගලන්තය (නසාර් හුසේන්), නවසීලන්තය (ස්ටීවන් ෆ්ලෙමින්), දකුණු අප්‍රිකාව (ෂෝන් පොලොක්), සිම්බාබ්වේ (හීත් ස්ට්‍රික්), බංග්ලාදේශය (නයිමුර් රහ්මන්), කෙන්යාව (මොරිස් ඔඩුම්බේ) කණ්ඩායම් සහභාගි විය.

තරගාවලිය තරග 10 කින් සමන්විත වූ අතර තරගාවලියේ ස්වභාවය අනුව පෙර අර්ධ අවසන් පූර්ව තරග තුනක් පැවති අතර එහිදී කෙන්යාව පරාජය කරමින් ඉන්දියාව ද කොදෙව්වන් පරාජය කරමින් ශ්‍රී ලංකාව ද බංග්ලාදේශය පරාජය කරමින් එංගලන්තය ද අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී එවක ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ද ශ්‍රී ලංකාව පරාජය කරමින් පකිස්ථානය ද සිම්බාබ්වේ පරාජය කරමින් නවසීලන්තය ද එංගලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව ද අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය.

පළමු අවසන් පූර්ව තරගයේදී එවක ලෝක අනුශූරයන් වූ පකිස්ථානය සහ නවසීලන්තය සටන් වැදුණු අතර ලෝක අනුශූරයන් පරාජයට පත්කරමින් පළමුවරට ICC ප්‍රධාන තරගාවලියක අවසන් තරගයට පිවිසීමට නවසීලන්තයට හැකිවිය. පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 252 ක ඉලක්කය කඩුලු 6 ක් පමණක් අහිමි කරගනිමින් තවත් ඕවරයක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කරගැනීමට කිවියන් සමත් විය.

දෙවන අවසන් පූර්ව තරගය පැවතියේ ඉන්දියාව සහ 98 තරගාවලියේ ශූරයන් වූ දකුණු අප්‍රිකාව අතරයි. තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දියානු කන්ඩායම සිය ඕවර් 50 අවසානයේ ලකුණු 295 ක් ලබාගත් අතර ඒ වනවිට කඩුලු 6 ක් බිඳවැටී තිබිණි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ගංගුලි නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 141 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ මුල්පෙළ කඩා ඉහිරවන්නට ඉන්දියානු පන්දු යවන්නන් සමත් වූ අතර ලකුණු 50 වාර්තා වනවිට දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුලු හතරම දැවී ගියේය. අවසානයේ ඕවර 41 කදී සියලු දෙනාම ලකුණු 200 කට දැවී ගියේ ඉන්දියානුවන්ට අවසන් තරගයේ ඉඩහසර වෙන්කර දෙමිනි. ඉන්දීය නායක ගංගුලි පන්දු ඕවර 41 යැවීම සඳහා පන්දු යවන්නන් අට දෙනෙකු භාවිතා කර තිබීම එම තරගයේ විශේෂත්වයක් විය.

ඔක්තෝබර් 15 වැනි දින ජිම්කානා ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින් සමත් වූ අතර ඔහුගේ තීරණය වූයේ මුලින් පන්දුව අතට ගැනීමයි. කිවියන්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි ගංගුලි සහ සචින් පළමු කඩුල්ල අගනා සබඳතාවයක් එක්කළ අතර 27 වන ඕවරයේදී ලකුණු 69 ක් ලබා සිටි සචින් දුවද්දී දැවීයන විට ඔවුන් ලකුණු 141 ක සබඳතාවයක් ගොඩනගා තිබිණි.

ඉන් පසුව තරගයේ පාලනය සියතට ගත් කිවි පන්දු යවන්නන් ගංගුලේ පිරිවරට නැවත හිස එසවීමට අවකාශ ලබා නොදුන්හ. පෙර තරගයේදීද ශතකයක් ලබාගනිමින් අවසන් තරගයේ සිය කණ්ඩායමේ ස්ථානය වෙන්කර ගත් ගංගුලි කිවියන්ට එරෙහිව ලකුණු 117 ක් ලබාගත්තේ පිට පිට වාර්තා කළ දෙවැනි ශතකය ද සමගිනි. ගංගුලි සහ සචින් හැරෙන්නට කිසිදු පිතිකරුවෙකු සාර්ථක නොවීම හේතුවෙන් ඉන්දියානුවන්ට ඕවර් 50 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 6 කට ලකුණු 264 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිවියන්ගේ මුල්පෙළ බිඳදමන්නට වෙන්කටේස් ප්‍රසාද් සමත් වූ අතර ඒ අතරට නායක ෆ්ලෙමින්ගේ කඩුල්ලද අයත් විය. කඩුලු ලබාගැනීමට නොහැකි වුවද පන්දු යැවීමේදී සිය පන්දු වාර 10 ලකුනු 40 කට සීමා කළ ක්‍රිස් කෙයාන්ස් සිය කන්ඩායම ජයග්‍රාහී මාවතට ගෙනයමින් පිත්තෙන් ද දස්කම් දැක්වීමට සමත් විය.

බිඳවැටුණු කිවියන්ගේ ඉනිම ශක්තිමත් කරමින් කෙයාන්ස් ලකුණු 102 ක් ලබාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් රොජර් ටූස් ලකුණු 31 ක් සහ ක්‍රිස් හැරිස් ලකුණු 46 ක් ලබා ගත්තේය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ ක්‍රිස් කෙයාන්ස් අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් විය. නවසීලන්තය පළමුවර ප්‍රධාන තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර එය ජයග්‍රාහීව සැමරීමට ඔවුන් සමත් විය.

ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 348 ක් ලබාගත් ඉන්දීය නායක ගංගුලි තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ අතර වෙන්කටේෂ් ප්‍රසාද් වැඩිම කඩුලුලාභියා වෙමින් තරග 4 කදී කඩුලු 8 ක් බිඳහෙළීය. කෙසේ වෙතත් තරගාවලියේ ස්වභාවය අනුව ඉන්දියාව තරග 4 කට සහභාගි වී තිබිණි. පකිතානු කණ්ඩායමේ සහීඩ් අන්වර් තරග දෙකකදී ශතක දෙකක් ද සමගින් ලකුණු 209 ක් ලබාගැනීම ද විශේෂත්වයකි.

 පෙර වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ කැන්ගරුවන්ගේ පසුබෑම දැඩි කතාබහට ලක්වූ අතර දකුණු අප්‍රිකාව යනු තවදුරටත් කෙතරම් දක්ෂතා දැක්වුවද වාසනාව ඊට හරස් කපන බව තවදුරටත් ඔප්පු කිරීමට මෙම තරගාවලිය සමත් විය.

1999 ලෝක කුසලාන තරගාවලියේදී අන්ත පරාජයක් ලබා පළමු වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකා කණ්ඩායම විශාල වෙනසකට භාජනය වූ අතර නායක අර්ජුණ රණතුංග සහ උපනායක අරවින්ද එක්දින කණ්ඩායමෙන් ඉවත් කර සනත් ජයසූරිය නායකත්වයට පත්කළේය. උපනායකත්වය හිමිවූයේ එවකට නවක, දීප්තිමත් ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධනටයි. මෙම වෙනස්කම්වලින් පසුව කණ්ඩායම ඉතා ඉක්මනින් නැගී සිටි අතර ICC KNOCKOUT තරගාවලිය ආරම්භ වනවිට ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා යන බවට මත පළවිය. එහෙත් අවාසනාවට ඔවුන්ගේ ගමන පකිස්ථානය ඉදිරියේ නිමාවට පත්වූයේ අවසන් පූර්ව වටය පිළිබඳ සිහින බොඳ කරමිනි.

සත්කාරක කෙන්යාව මෙම තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා උපරිමයෙන් කටයුතු කළ අතර එය ජාත්‍යන්තරයේ පැසසුමට ලක්විය.

චැම්පියන් ත්‍රොපි තෙවැනි පියවර සමගින් හමුවෙමු......

නාකියා

No comments:

Post a Comment