Friday, March 31, 2017

දිස්ත්‍රික් සීමිත ඕවර් තරගාවලිය කා වෙනුවෙන්ද ?

මේ දිනවල සිරිලංකාවේ 'දිස්ත්‍රික් වන්ඩේ ටූනමන්ට්' යනුවෙන් අරුම පුදුම ක්‍රිකට් තරගාවලියක් පැවැත්වේ.
වෙනත් රටක නම් දිස්ත්‍රික්, පළාත් හෝ ප්‍රාන්ත තරගාවලි යනු අදාල ප්‍රදේශයේ ක්‍රීඩකයන් ජාතික තලයට රැගෙන ඒම සඳහා පැවැත්වෙන තරගාවලියක් සිහියට නැගේ. එහෙත් සිරිලංකාව යනු අරුම පුදුම වැඩ කරන ලොවෙත් නැති රටකි. එහි සිදුවන බොහෝ දෑ ලොවෙත් නැති දෑය.

මෙම තරගාවලිය සඳහා ලංකාව පුරා දිස්ත්‍රික් 23 ක දිස්ත්‍රික් කණ්ඩායම් එක්ව සිටී. බැලූ බැල්මට නම් මෙය ඉතා වටිනා තරගාවලියකි. මන්ද ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින දක්ෂ ක්‍රීඩකයන් ඒකරාශී කොට ජාතික මට්ටමේ තරගවලියක් පැවැත්වීමයි. ඒ හැඟීමෙන් යුතුව තරගාවලියේ කණ්ඩායම් සාමාජිකයන් කවුරුන්දැයි පරීක්ෂා කළෙමි.

එහි ඇත්තේ ලොවෙත් නැති ලොවෙත් නැති කණ්ඩායම්ය. ජැෆ්නා කණ්ඩායමේ නායකයා කොළඹ ජීවන් මෙන්ඩිස්ය. කළුතර ටී.එම්. ඩිල්ෂාන් ද ජැෆ්නා කණ්ඩායමේය. එහි එකදු ජැෆ්නෙක් නැත. ගාල්ලේ බලපිටියේ උපන් සික්කුවා බදුල්ලේය. කොළඹ උපන් නවින් කවිකාර රත්නපුරේය. මේවා ලොවෙත් නැති ඒ තබා අඟහරු ලෝකෙත් නැති තේරීම්ය.

තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ක්‍රීඩා සමාජ කණ්ඩායම් ගෙඩි පිටින්ම දිස්ත්‍රික් කණ්ඩායම්වලට ඔබ්බවා ඇති බවයි.

මෙම තරගාවලිය කෙතරම් සංවිධානාත්මකදැයි කිවහෙත් කණ්ඩායම් සාමාජිකයන් හෝ නිවැරදිව සඳහන් කිරීමට අපේ පාලකයන් අසමත්ය. ඒ තබා සමහර තරගවල ලකුණු සටහන් ක්‍රික්ඉන්ෆෝහි අප්ඩේට් කිරීමට පවා අසමත්ය.

කොළඹ අවට ක්‍රීඩා සමාජවල නම් දිස්ත්‍රික් කණ්ඩායම් ලෙස වෙනස් කර කොළඹ අවට ක්‍රීඩාංගනවල පවත්වන තරගාවලියක් සංවිධානය කරගත නොහැකි ක්‍රිකට් ආයතනයෙන් ජාත්‍යන්තරය ජයගන්න කණ්ඩායමක් සකස් කරගැනීමට නොහැකි වීම පුදුමයක් නොවේ.

ක්‍රිකට් පරිපාලකයන් මේ වනවිට සිරි ලංකා ක්‍රිකට් වර්තමානය කාබාසීනියා කර අවසන්ය. දැන් එහි ඉතිරිව ඇත්තේ රොඩ්ඩ පමණි. දැන් මොවුන් මේ කැස කවන්නේ ක්‍රිකට් අනාගතය විනාශ කිරීමටයි.

ලොවෙත් නැති මෙවැනි තරගමාලා සංවිධායකයන් සිටින තාක් දුර පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාවට එක්වන කොල්ලන්ට අබ සරණය. එක්කෝ දැන්ම වෙනත් ක්‍රීඩාවක් තෝරාග හැකිය. එසේ නැතහොත් කුමන උප්පරවැට්ටියක් දමා හෝ අඩුගානේ කොළඹ ඌෂ්ණය වදින සීමාවේ හෝ පාසලකට පැනගත යුතුය.

නැත්නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත.

ඇඩ්මින් නාකියා

No comments:

Post a Comment