Monday, March 20, 2017

හතුරා, උඹ ලංකාවට ආවොත් නං බඩු බනිස්.....

බොහෝදෙනාගේ බලාපොරොත්තු සුනේ සුන් වුවද මා බලාපොරොත්තු වූ ආකාරයෙන්ම බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය අවසන් විය. ඒ නිසා තවදුරටත් ඒගැන කතා කළයුතු නැත.
තරගාවලිය අවසන්වීමත් සමග කතාබහට ලක්වූයේ තරග පරාජය නොව චන්දික හතුරුසිංහයි. ඒ ඔහු බංග්ලාදේශ ඓතිහාසික ජයග්‍රහණය පසුපස සිටි එක් ප්‍රබල සාධකයක් වීම හේතුවෙනි. එක් ප්‍රබල සාධකයක් යැයි කියන්නේ ජයග්‍රහණයට තවත් සාධක කිහිපයක් බලපෑ නිසාය.

තරග පරාජයේ අවමානයෙන් ගැලවීම සඳහා අපේ උන් කියන්නේ මෙය බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයක් නොව තනිකර හතුරාගේ ජයග්‍රහණයක් බවයි. එහෙත් එය ඉතා දුර්වල තර්කයකි. එම තර්කයට අනුව නම් අප 2003 හො 2007 එක්දින ලෝක කුසලානවල බංග්ලාදේශ කණ්ඩායම ප්‍රාතිහාර්යය දැක්විය යුතුය. මන්ද ඒ වනවිට කණ්ඩායමේ පුහුණුකරු වූයේ, (1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ) ඩේව් වොට්මෝර් නිසාය.

අනෙක් අතින් බංග්ලාදේශය ලබාගත් ජයග්‍රහණය හතුරුසිංහගේ ජයග්‍රහණයක් කිරීම හරහා එම ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමට අපේ උන් උත්සාහ කරයි. කොහොමත් අපේ උන් අනුන්ගේ ජයග්‍රහණවලට අයිතිවාසිකම් කීමට රුසියන්ය.

හතුරාගේ මෙම ජයග්‍රහණයෙන් උදම් වූ බොහෝදෙනා බලාපොරොත්තු වන්නේ හතුරා ශ්‍රී ලංකා කණඩායමේ පුහුණුකරු තනතුර සඳහා පැමිණිනෙනු ඇත කියාය. එසේ බලාපොරොත්තු වන අයට කිවයුතු වන්නේ හතුරා ඡායා පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුගෙන් කිසිදු වැඩක් නොගෙන අවසානයේ එළවා දැමූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටියේ කවුරුන්ද යන්න පමණකි.

අපේ පුහුණුකරුවන්, ක්‍රිකට් ප්‍රවීණයන් අපට නොවටින්නේ වුවද ඔවුන්ගේ වටිනාකම් දන්නා රටවල් ඔවුන් ඉහළ මිලක් නියම කරයි. මෙය ක්‍රිකට්වලට පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයකට පොදුය. සුදුස්සාට සුදුසු තැන සහ දක්ෂයාට හැකියාව පෙන්වීමට අවස්ථාව ලබා නොදෙන අතර රටින් පිටව ගොස් තම හැකියාවන් පෙන්නූ විට ඒ සඳහා අයිතිවාසිකම් කීමට නම් රොද බැඳගෙන සිටී.

රෝයි ඩයස්, පුබුදු දසනායක වැන්නන්ගෙන් පෙරදී වෙනත් රටවල් සාරය උරාගත් අතර වර්තමානයේදී හතුරාට මෙන්ම මහේල ජයවර්ධනට මුම්බායි කණ්ඩායමෙන් අවස්ථාව ලැබෙන්නේ ඔහුගේ දක්ෂතාවය මනාව අවබෝධ කරගත් හෙයිනි. මෙසේ සිදුවන්නේ මහේල, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සේවය කිරීමට කැමැත්තෙන් සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති වාතාවරණයක් තුළයි.

යම්හෙයකින් IPL තරගාවලියේදී මුම්බායි කණ්ඩායම විශේෂ දක්ෂතා දැක්වුවහොත් එහි සම්පූර්ණ ගෞරවය මහේලගේ ගිණුමට බැරකර එහි අයිතිය ලබාගැනීමට බොහෝදෙනා කටයුතු කරනු ඇත.

අනෙක් අතින් අපේ කණ්ඩායමට දේශීය පුහුණුකරුවන් අරහංය. තමන්ට කඩ්ඩ බැරිඋනත් කඩ්ඩෙන් උපදෙස් නොලැබෙන්නේ නම් නිකං ඇඟට හරි නෑ වාගේය. කඩ්ඩෙන් උපෙදස් ලැබෙන විට ඒවා නොතේරුනද හෙන මොරාල් එකක් එනවාය. ඒ නිසා කොහෙන් හෝ සුද්දෙකු නම් කිසි අවුලක් නැත.

නේපාලයේ ක්‍රිකට් බීජය රෝපනය කළ රෝයි ඩයස්ට මෙන්ම මාවන් අතපත්තුට ද උරුම වූයේ ඒ කරුමයයි. දැන් ඔවුන් අසාර්ථක බවට ලේබල් ඇලවී හමාරය. හතුරාටද මෙවැනි ඉරණමක් අත්වීමට ඉඩ තිබී කෙසේ හෝ ඔහු ඒ කරුමයෙන් ගැලවී ගිය නිසා දැන් ඔහුට නිසි වටිනාකම හිමිව තිබේ.

අපේ උන් මේ කෙසේ හෝ කැසකවමින් සිටින්නේ ඔහුගේ ඒ ගෞරවය කෙලසා දැමීමටයි. කුමන හේතුවක් මත හෝ ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වුවහොත් ඔහුගේ උපදෙස් අපේ ක්‍රීඩකයන් බොහෝදෙනා එතරම් ගණන් ගන්නේ නැති බව නම් සිකුරුය. ඔවුන්ට හතුරාගේ සිංහලෙන් දෙන උපදෙස් නිකං මදිවාගේ වනු ඇත. කඩ්ඩෙන් දෙන උපදෙස්වල තරම් ගැම්මක් නැතිවනු ඇත. අවසානයේ රෝයි ඩයස්, මාවන් අතපත්තු වැටුණු වලටම හතුරාද වැටෙනවාට කිසිදු සැකයක් නැත. බොහෝදෙනා බලාපොරොත්තු වන්නේද එයයි.

ඒ නිසා හතුරාට කිවයුත්තේ එක දෙයකි.

මේ යනවිදියට නම් බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේදී තවත් පෙරළි සිදුකරනු ඇත. ඒ නිසා බැරිවෙලාවත් ලංකාවට එන්නට නම් හිතන්න එපා. පෙර කරුමයකට හෝ එසේ ඒමට සිතුනොත් නම් හතුරෝ, උඹට බඩු බනිස් ය.

ඇඩ්මින් #නාකියා

No comments:

Post a Comment