Thursday, March 30, 2017

ඒ කාලේ ක්‍රිකට් සහ මේ කාලේ ක්‍රිකට්

අසූව දශකයේ ටෙස්ට් වරම් හිමිවූ කාලයේ සිට අනූව දශකයේ මැදභාගය දක්වා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූයේ ඉඳහිට ලැබූ ජයග්‍රහණයක් පිළිබඳවය. ඒ ජයග්‍රහණ යනු ඉතා දුර්ලබ දෙයක් වූ නිසාවෙනි.
එවකට අප ටෙස්ට් වංශකතාවේ කෝඩුකාරයනු වූ නිසා අපට තරගාවලි ලැබුනේ ඉඳහිටය. එවැනි තරගාවලියකදී තරගයක් ජයගැනීම යනු සිහිනයක් පමණක් විය.

අනූව දශකයේ මැදභාගයේදී අපේ ක්‍රිකට් අළු ගසාදමා නැගීසිටි අතර ඉන්පසු ජයග්‍රහණය එකපිට එක පැමිණි අතර ඒ නිසා ජයග්‍රහණ සැමරීම විනා ඒ පිළිබඳව එතරම් කතාබහක් ඇති නොවීය. 96 ලෝක කුසලානයේ සිටි දැඩි කතාබහක් ඇතිවූයේ විටින් විට අප පසුබෑම් සහ ජරාජයන් ලබනා විටදීය.

කෙසේ වෙතත් දශක දෙකක් පුරා පැමිණි ජයග්‍රහණ රැල්ල දැන් හමාරය.
නැවතත් වටයකින් අප පැමින ඇත්තේ ඉඳහිට ජයග්‍රහණයක් ලබන වකවානුවකටයි. ඒ අනුව නැවතත් අප ඉඳහිට ලබන ජයග්‍රහණ පිළිබඳ උදම් අනන කාලයකට පැමිණ ඇත. බොහෝදෙනා ඉඳහිට ලබන ජයග්‍රහණ පිළිබඳ උදම් ඇනුවද අප පය තබා සිටින්නේ මහා ගිනිකන්දක් උඩය.

ඉඳහිට ලබන ජයග්‍රහණ පිළිබඳව උදම් ඇනීම නොව මේ මොහොතේ සිදුකළ යුත්තේ අප ලබන පරාජයන් වැල පිළිබඳ කතා කිරීමය. එහෙත් අප කෙතරම් ඒ පිළිබඳ කතා කළද ඉන් සිදුවන යහපතක් නොමැත. ක්‍රිකට් මහදැනමුත්තන් පරාජයන් නොදැක්කා සේ සිටින අතර ඔවුන්ට වැටුණු වලෙන් නැගී සිටීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැත. ඒ නිසා අපට සිදුවන්නේ ලබන පරාජයන් පිළිබඳව ඔහේ බලා සිටීමය. එසේ නැතහොත් ලබන පරාජයෙන් ආතල් ගැනීමය.

පසුගිය කාලයේදී ලැබූ පරාජයන් හමුවේ අප ආතල් ගනිද්දී අපට එරෙහිවූවන්, අපට බැනවැදුනවුන්, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියවුන් දැන් පරාජයන් හමුවේ අපටත් වඩා හොඳින් ආතල් ගනිමින් සිටිති. අප පසුකර යමින් සිටිති. ඒ අනුව තවත් වසරක් පමණ යනවිට අද කණ්ඩායම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින, අපට අවලාද නගන, අපට බැනවදින බොහෝ දෙනා අපටත් වඩා හොඳින් ආතල් ගනු ඇත.

ගිනිකන්දේ ලාවා ගිනියම් වෙමින් තිබියදී කාලයක් තිස්සේ දුම් රොටු අහසට මුදා හරිමින් තිබේ. බොහෝවිට ගිනිකන්ද පුපුරා යනු ඇත්තේ මෙම වසරේ පැවත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේදීය. එසේ නැතහෙත් 2019 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේදීය. මෙම තරගාවලි දෙකම එංගලන්තයේදී පැවැත්වීමට නියමිත හෙයින් එම පුපුරා යාම හරහා සිදුවන ව්‍යසනය කෙතෙක්දැයි ගණන් බැලීම උගහටය.

මේ වනවිට බංග්ලාදේශය සමග පැවැත්වෙමින් තිබෙන එක්දින තරගාවලියේ තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණි. එම තරගය 2019 ලෝක කුසලාන තරගාවලියේ අපට හිමිවන තැන තීරණය කරනු ලබන තරගයයි.
අප එම තරගය ජයගත හොත් ජාම බේරාගෙන පළමු කණ්ඩායම් හය අතර රැඳී සිටීමට හැකිවනු ඇත. එහෙත් එම තරගයද ජයගැනීමට නොහැකි වුවහොත් අපට හිමි අවස්ථාව බංගලියන් ඩැහැගන්නා අතර සිදුවන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට අප ඇදවැටීමයි.

එය එක්වරක් ලෝක කුසලානයේ පහස ලැබූ දෙවරක් ලෝක කුසලානයේ අතපොවන මානයට පැමිණි රටකට දරාගත නොහැකි තත්වයකි. එය තවදුරටත් බියකරු තත්වයක් වන්නේ අප නැගීසිටින කාලවකවානුවක් පිළිබඳව බලාපොරොත්තුවක් හෝ නොමැති තත්වයක් තුළ අපේ ප්‍රතිවාදීන් වියහැකි ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය වැනි රටවල් දිනෙන් දින දියුණු වෙමින් සිටීම නිසාවෙනි.

කළයුත්තේ කුමක්ද යන්න පිලිබඳව කතා කිරීමෙන් ඵලක් නොමැත. කොදෙව් කණ්ඩායම හැර අනෙක් සියලු කණ්ඩායම් 2019 සඳහා සූදානම් වීමට පිඹුරුපත් සකස් කර පිටිය සූදානම් කරමින් සිටියදී අප දිනෙන් දින ආගාධයට ගමන් කරමින් සිටී. අපේ ක්‍රිකට් ලොක්කන්ට ඒ ගැන වගේ වගක් නොමැත.

ඒ නිසා කළයුත්තේ ඉදිරියේදී එළඹීමට නියමිත පරාජයන් වැල පිළිබඳව සිහිපත් කොට හිත හදාගැනීමයි.

2019 දී ගත කිලිපොලා යන බියකරු සිහිනයෙන් අවදිවීම සමනය කරගැනීමට එය අපට පහසුවක් වනු ඇත.

ඇඩ්මින් #නාකියා

No comments:

Post a Comment