Thursday, June 30, 2016

එක රැයින් ලොවම දිනූ කොල්කටා කොල්ලා

WE ARE SORRY, Congratulations Sri Lanka ඔබත් 90 දශකයේ සිට ක්‍රිකට් පිස්සෙක් නං මේ වචන හය මතකයේ ඇතුවාට කිසිදු සැකයක් නෑ.
1996 වීල්ස් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය ප්‍රේක්ෂකයන් මුලුමහත් ලෝකය ඉදිරියේම අපකීර්තියට පත්වෙද්දි කොල්කටාවෙ එක කොලුගැටයෙක් එක මොහතකින් ලෝකයේම අවධානයට පත්වෙන්න සමත් වෙනවා. ඒ මේ වචන හයත් සමග.

එදා කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩංගනයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරගය නිමාවට පත්වෙන්නෙ අවාසනාවන්ත සිදුවීමක් එක්ක. ඉන්දියාව සහ ලංකාව අතර පැවති එම තරගයේ දෙවනුවට පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම එක මොහොතක හිටියේ ජයග්‍රහණයට ඉතා වේගයෙන් ලංවෙමින්. ඒත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හා පන්දු රකින්නන්ගේ දක්ෂතා හේතුවෙන් ඔවුන්ට ලකුණු 22 ක් තුළ කඩුලු 7 ක් අහිමි වෙනවා.
ඉන්දියානු කණ්ඩායමේ පරාජය ඉවසිය නොහැකි ඉන්දීය ක්‍රීඩාලෝලීන් සිය විරෝධය පලකරන්න පටන් ගන්නවා. කොහොමත් ඉන්දියානු ප්‍රේක්ෂකයන් කියන්නෙ ලේසියෙන් පරාජය බාරගන්න කැමති පිරිසක් නෙවෙයි. ඔවුන් ක්‍රීඩකයන්ට සලකන්නෙ දෙවියන්ට වගේ. ඒත් ඒ ජයග්‍රහණයෙදි විතරයි. පරාජයෙදි ඒකෙ අනිත් අන්තයට යන්නත් ඔවුන් සූදානම්. ඉන්දියානු කණ්ඩායම පරාජයට පත්වන විට ක්‍රීඩකයන්ගෙ ගෙවල්වලට පොලිස් ආරක්ෂාව දෙන්න වෙන්නෙ ඒ නිසා.
සෙල්ලං නෑ එදා මැච්එක බලන්න ඉන්දීය ක්‍රීඩාලෝලීන් ලක්ෂයක් විතර ග්‍රවුන්ඩ් එකට ඇවිල්ල හිටියා. පරාජය දරාගන්න බැරිඋනු ඔවුන් තමන්ගෙ අතේ තිබුනු බෝතල් වගේ දේවල් ක්‍රීඩාංගනය දෙසට විසිකරන්න පටන් ගත්තා. ඔවුන් විසිකරපු සමහර දේවල් පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙ ඇඟෙත් වැදුනා. තවත් සමරු තමන්ගෙ අතේ තිබුණු දේවල් එකතු කරලා ක්‍රීඩාගාරවල ගිනි ගොඩවල් ගසමින් සිය ක්‍රීඩකයන්ට විරෝධය පළකලා. හරියට මුලු ප්‍රේක්ෂකාගාරයම යුදපිටියක් වගේ.
මේ නිසා තරගය අතරමග නතර කරන්න තරගයේ තීරක ක්ලයිව් ලොයිඩ් තීරණය කරනවා. ඒ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්, ඒ කියන්නෙ අවසන් තරගයේ අවස්ථාව සලසා දෙමින්.
ඉන්දීය ප්‍රේක්ෂකයන් මේ විදියට හැසිරුනේ ලෝකයේ බිලියන ගණනක් මේ තරගය රූපවාහිනියෙන් නරඹද්දි. නමුත් ඒක ඉන්දියන් ප්‍රේක්ෂකයන්ට අදාල නෑ. ඔවුන්ට අදාල වෙන්නෙ ඉන්දීය කණ්ඩායම හැම තරගයක්ම ජයගන්න එක.
ඉන්දීය ප්‍රේක්ෂකයන් මේ විදියට හැසිරෙද්දි ඒ සියල්ල ආවරණය කරපු කැමරා ඇස එකවරම හදිසියේ ඉන්දීය ප්‍රේක්ෂකයෙකු ඔසවාගෙන සිටි පුවරුවක නතර වෙනවා ඒ හරහා සමස්ත ලෝකයම ඒ බෝඩ් එක දිහා බලන් ඉන්නවා. එ් බෝඩ් එකේ ලියල තිබුණෙ WE ARE SORRY, Congratulations Sri Lanka (අපට සමාවන්න, ශ්‍රී ලංකාවට සුබපැතුම්) කියන වචන හය.
මේ බෝඩ් එක උස්සගෙන ඉන්න තරුණයා අනිර්බාන් මෙයිති කියන කොල්කටා කොල්ලා. ඔහු මේ සිදුවීම නිසා එක මොහොතකින් ලෝකය ඉදිරියේ වීරයෙක් වෙනවා.
ඔහු මේ ගැන පසුව, 'එදා අපේ ක්‍රීඩාලෝලීන් හැසිරුනු විදිය අන්තිමයි. මුලු ලෝකයම අපේ නගරෙ (කොල්කටා) ගැන අවධානය යොමුකරගෙන ඉන්න වෙලාවෙ මෙහෙම දෙය් වෙච්ච එක ගැන මම ලැජ්ජාවට පත්උනා. ඒක නිසා මම හිතුවා මේකට මොනව හරි කරන්න ඕන කියලා. ග්‍රවුන්ඩ් එක ඇතුළට එද්දි අනුග්‍රාහක සමාගමකින් කොලවගයක් බෙදුවා. මට ඒක මතක් උනා. මම ඒක අරගෙන මගේ හිතට ආපු දේ ලියලා ඒ පුවරුව උස්සගෙන හිටියා. හිතුවෙ නෑ මේක ලෝකෙම ජනප්‍රිය වෙයි කියලා. ගෙදර ගියාට පස්සෙ තමයි දැනගත්තෙ ඒක ටීවී එකෙන් පෙන්නලා කියලා' යනුවෙන් ප්‍රකාශ කරල තියනවා.
ඒ වෙලාවෙ ඒ කොල්ල හිතුවෙ නැති උනත් ඒක ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැක්කා. ඒ වගේම අනිර්බාන් මෙයිති ලෝකය ඉදිරියේ වීරයෙක් උනා.
96 වීල්ස් ලෝක කුසලානය අතරතුර සමස්ත ඉන්දියාවම ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්වෙද්දි එම කලුපැල්ලම තරමක් හෝ මකාදමන්න අනිර්බාන් මෙයිති සමත් වෙනවා.
 - උපුල් නිශාන්ත

3 comments: