Tuesday, June 27, 2017

අයියෝ ක්‍රීඩා ඇමතිතුමෝ, මාලි ගෙදර යවන්න නෙ තිබ්බෙ....

බලාපොරොත්තු වූ පරිදිම ලසිත් මාලිංගට දඬුවම් ලැබී තිබේ. ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹි ක්‍රීඩකයන් අදාල ගිවිසුම් කඩකරන්නේ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් කළයුතුය.

ඉතින් දැන්වත් මාලි තමන්ගේ කටට බ්‍රේක් දමාගනු ඇත. මාස හයකට හෝ ඔහුට දයාසිරි කුමක් කීවද කට බලියාගෙන ඉන්නට සිදුවනවා ඇත.

වැටී ඇති සිරි ලංකා ක්‍රිකට් නගා හිටුවන්නට ක්‍රීඩා ඇමතිවරයා දරන උත්සාහය අවංක එකක් බව දැන්නම් සක්සුදක් සේ පැහැදිලිය. මාස කිහිපයකින් එහි ප්‍රතිඵල දැක සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත වනවා නොඅනුමානය.

කෙසේ වෙතත් දයාසිරි ඇමතිතුමාට තිබුනේ මේ වටයෙන්ම මාලි ගෙදර යැවීමටය. ඒ සඳහා ලැබුණු අනගි අවස්ථාව ඔහු පැහැර හැර තිබේ.

ක්‍රීඩකයන් යනු මිලියන විස්සකකට අධික ලාංකිකයන්ගේ නියෝජනයයි. සෙසු ක්‍රීඩාවලට සාපේක්ෂව ක්‍රිකට් වැදගත් වන්නේ, ලෝකය තුළ ක්‍රිකට් හේතුවෙන් අප ඉහළ වටිනාකමක් හිමිකරගෙන ඇති නිසාය. ඒ නිසා ක්‍රීඩකයන්ට තමන්ට අවශ්‍ය පරිදි එක එක සෙල්ලම් දැමිය නොහැකිය. ඕනෑ ඕනෑ විටෙක මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කළ නොහැකිය.

දයාසිරි ඇමතිතුමා මේ තහවුරු කර ඇත්තේ තමන් සමග සෙල්ලම් කිරීමට ක්‍රීඩකයන්ට ඉඩ ලබා නොදෙන බවයි. ක්‍රීඩකයන් යනු පාසල් කාලයේ සිට හික්මීමකින් යුතුව කටයුතු කිරීමට පුරුදු පුහුණු වූ පිරිසකි. ඔවුන්ට දේශපාලනඥයන්ට මෙන් හැරෙන හැරෙන පැත්තට වාග් ප්‍රහාර එල්ල කළ නොහැකිය. වහසි බස් දොඩන්නට හැකියාව නැත.

දයාසිරි වැනි දේශපාලනඥයන්ට නම් මාධ්‍ය ඉදිරියේ ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්නට පමණක් නොව ජෝකරයෙකු වීමට ද කිසිදු තහනමක් නැත. එය අමුතුවෙන් කිවයුතු නොවේ, එය රටම දන්නා කරුණකි. එමෙන්ම ඕනෑම ගොං කතාවක් ප්‍රකාශ කර කිසිවක් සිදු නොවූවාක් මෙන් සිටීමට ද කිසිදු ලැජ්ජාවක් නැත. හම්බන්තොට වරායේ ගල ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සිටි දයාසිරි මහින්දගේ ගල අස්සේ රිංගුවේ කිසිදු හිරිකිතයක් නොමැතිවය.

දයාසිරිලා කුමන කතා කීවද ඒවාට පරීක්ෂණ සිදුකිරීමට කමිටු පත්කරන්නේ නැත. ඩිසිපිලීන් ගැන කතා කරන්නේද නැත. දේශපාලනයෙන් අවුරුද්දකට තියා එක දවසකට හෝ තහනම් කරන්නේ නැත. ඒ ඔවුන්ට කිසිවෙකු සමග බැඳීමක් නොමැති නිසාය. කිසිවෙකු සමග ගිවිසුම් හෝ එකඟතාවලට පැමිණ නැති නිසාය. (ගිවිසුම් තිබුණද ඒවා ගණන් නොගන්නා එක වෙනම කතාවකි)

එහෙත් ක්‍රීඩකයන්ට එහෙම බැරිය. ඩිසිපිලීන් අනුව කටයතු කළයුතුය. ගිවිසුම් කඩ කරමින් කටයුතු කරන්නට බැරිය. එහෙම කරන්නේ නම් දඬුවම් විඳින්නට සිදුවේ.

දේශපාලකයන්ට විනයක් නොමැති වුවද ක්‍රීඩකයන්ට විනයක් ඇති බව දයාසිරි ඇමතිතුමා ඔප්පු කර තිබේ.
දේශපාලකයන්ට ගිවිසුම් කඩ කළහැකි වුවද ක්‍රීඩකයන්ට ගිවිසුම්වලට එරෙහිව කටයුතු කරන්නට බැරි බව දයාසිරි ඔප්පු කර තිබේ.
දේශපාලකයන් උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවේ පවා ජෝගි නටද්දී ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියෙන් පිටතදී පවා ගෞරවනීය ලෙස හැසිරිය යුතු බව දයාසිරි ඔප්පු කර තිබේ.
දේශපාලකයන් ජනතාව හමුවේ තැබූ ගිවිසුම් අමතක කර පිස්සු කෙලිද්දී ක්‍රීඩකයන් ගිවිසුම් අනුව කටයුතු කරන්නේ නැත්නම් ඔවුන්ට දඬුවම් ලබාදිය හැකි බව දයාසිරි ඔප්පු කර තිබේ.
දේශපාලකයන් කුමන වාචාල කතා ඇදබෑවද ක්‍රීඩකයන් තමන්ගේ කට පරෙස්සම් කරගත යුතු බව දයාසිරි ඔප්පු කර තිබේ.
සරලවම කියන්වා නම් දේශපාලකයන් තමන්ගේ රටට වගකියන්නේ නැතිවුවද ක්‍රීඩකයන්ට තමන්ගේ රට වෙනුවෙන් වගකීමක් ඇති බවත් එ් නිසා දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව දයාසිරි ඔප්පු කර තිබේ.

සිරි ලංකා ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිතුමනි, මාලිංග ගෙදරම යවන්න නේ තිබ්බෙ........

3 comments:

  1. /* මිලියන දෙකකට අධික ලාංකිකයන්ගේ */

    එතකොට ඉතුරු මිලියන් විසි ගාන????

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න
      වැරදීමක්.......

      Delete
  2. දයාසිරි ගෙදර යන්නේ කවද්ද?

    ReplyDelete