Wednesday, June 21, 2017

ක්‍රිකට් අර්බුදයට මාලි-දයා ඉසකුඩිච්චිය

චැම්පියන්ස් කුසලානය අතරතුර සිරි ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායකින් ගොඩබැස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදයේ අළුයට ගිනි පුපුරු එලියට විසිකරමිනි. එය කණ්ඩායම පැමිණි දා පැවති මාධ්‍ය හමුවේදීද තහවුරු වූ අතර කෙසේ වෙතත් මැතිව්ස් ප්‍රමුඛ ක්‍රීඩකයන් හා පාලකයන් පරාජයට හේතු ලෙස සුපුරුදු හේතුදැක්වීම පවසා මාධ්‍ය හමුවෙන් නැගිට ගියහ.

වසර කිහිපයක සිට අප සමාජ ජාලා හරහා ක්‍රිකට් කණ්ඩායම හා ඔවුන්ගේ භාවිතාව විවේචනයට ලක්කළ අතර අවසානයේ අත්වන ඉරණම ද සාකච්ඡා කළහ. එහෙත් ක්‍රිකට් පාලකයන්ට පෙනෙන කිසිදු අර්බුදයක් සිරි ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ නොමැති වූ අතර ඔවුන්ට තිබූ එකම ගැටලුව වූයේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා සංසරණය වන මුදල් කුට්ටියෙන් තමන්ගේ පැසට වැටෙන මුදල් ප්‍රමාණය වැඩිකර ගන්නේ කෙසේද යන්න පමණකි.

ක්‍රිකට් අර්බුදයේ ගිනිපුපුරු එළියට විහිදුවමින් පළමුව කට ඇරියේ ක්‍රීඩා ඇමතිවරයාය. ඒ බඩතඩි අපේ ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් ලබාදිය යුතු බව පවසමිනි. මෙම ප්‍රකාශයත් සමග ක්‍රිකට් ක්ෂේත්‍රය උණුසුම් වූ අතර අප බලාපොරොත්තු වූයේ ක්‍රීඩා ඇමතිවරයා ප්‍රමාද වී හෝ ක්‍රිකට් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට මුල පුරනු ඇතැයි කියාය. එහෙත් මෙය දයාසිරිගේ තවත් එක් පුරසාරම් කතාවක් පමණක් වී තිබේ.

රටේ ඇතිවන ඕනෑම අර්බුදයක්, ගැටලුවක් වසන් කිරීම සඳහා වෙනත් මාර්තෘකාවක් ඉස්මතු කිරීමට අපේ දේශපාලකයන් තරම් සමර්ථයන් පිරිසක් වෙනත් කිසිදු රටක නොමැත. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ අර්බුදය හමුවේ නිර්මාණය වෙමින් තිබෙන්නේ ද එවැනි තත්වයකි.

ක්‍රිකට් අර්බුදය ගැන හා ඒවා විසඳාගැනීමට අවශ්‍ය යෝජනා සාකච්ඡා කිරීම පසෙක තබා දැන් එය දයාසිරි - ලසිත් මාලිංග ද්වන්ද්ව සටනක් බවට පත්ව තිබේ. ඒ ලසිත් මාලිංග අද හිරු ගොසිප් වෙත සිදුකළ ප්‍රකාශය හේතුවෙනි. ලසිත් මාලිංග පවසන්නේ යුද වාතාවරණයක් නොමැති නිසා ක්‍රීඩකයන්ට හමුදා පුහුණුව ලබාදීම අනවශ්‍ය බවයි.

මෙතෙක් කල් ක්‍රිකට් ගැන කලකිරී සිටි සිරි ලංකා ප්‍රේක්ෂකයන්ට වීරයෙක් පහළ වී තිබේ. ඒ අනුව දැන් ඔවුන් දයාසිරිට එරෙහිව මාලිංග උසිගන්වමින් සිටී. දැන් සිරි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු අර්බුදයක් නොමැත. ලඟ එන සිම්බාබ්වේ සංචාරයද ඇදගෙන නෑවා වුවද ප්‍රශ්නයක් නැත. ක්‍රීඩකයන් බඩ තඩියන් තබා ආබාධිතයන් වුවද කම්නැත. දැන් ප්‍රේක්ෂකයන්ට අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති එකම අර්බුදය දයාසිරි ක්‍රීඩකයන්ට බඩතඩියන් කියා අවමන් කිරීමයි. සෙසු සියලු ගැටලු පසෙක තබා මේ මොහොතේ ලසිත් මාලිංග වෙනුවෙන්, සිරි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට පවා ප්‍රේක්ෂකයන් සූදානම්ව සිටී.

අප අමතක නොකළයුත්තේ මෙම ප්‍රේක්ෂකයන් යනු, මීට සතියකට දෙකකට පෙර ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් පිටුවලට ගොස් ඔවුන්ගේ හත්මුතු පරම්පරාවම සිහිපත් කළවුන් බවයි, ක්‍රීඩකයන්ගේ රෙදි ගලවා ඔවුන්ව නිරුවත් කිරීමට උත්සාහ කළවුන් බවයි.

රට කරවන දේශපාලකයන් සහ මුදලට ගිජු වී පරිපාලනයට සෙට් වී සිටින පුද්ගලයන්ගේ අවශ්‍යතාවය දැන් සම්පූර්ණ වී තිබේ. ක්‍රිකට් අර්බුදය පසෙක තබා දැන් සියලුදෙනාගේ දෑස් යොමුවී ඇත්තේ දයාසිරි-මාලිංග ගැටුම දෙසටය. ඉදිරියේදී මෙම නාටකයේ තවත් ජවනිකා දිනෙන් දින එළිදැක්වෙනු ඇත.

ලසිත් මාලිංග තමා දැනුවත්ව මෙම නාටකයේ චරිතයකට පණපොවන්නේදැයි දන්නේ නැත. ඔහු නොදැනුවත්ව රඟන්නේ නම් අභාග්‍යයකි. එසේ නැතහොත් මාධ්‍ය ඉදිරියේ චූන් වී රඟන්නේ නම් එය බරපතල අභාග්‍යයකි. සෙසු ක්‍රීඩකයන් කටපියාගෙන සිටිද්දී ලසිත් මාලිංග නොබියව ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඔහු ප්‍රේක්ෂකයන්ගේ වීරයෙක් වී තිබේ. එහෙත් මාලිංග අවබෝධ කරගත යුත්තේ ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ සිදුකරමින් සිටින්නේ ක්‍රිකට් අර්බුදය යටගැසීම සඳහා සහාය දැක්වීමක් බවයි.

එළඹෙන සිම්බාබ්වේ සංචාරය දක්වා මෙම නාටකයේ විවිධ කොටස් රඟදැක්වෙනු ඇති අතර සාපේක්ෂව අපට වඩා දුර්වල (අප ඊට වඩා දුර්වලයන් වීමට ද ඉඩ තිබේ) සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර තවත් කාලයක් අර්බුදය යටගැසීමට තිලංග-දයාසිරි හවුලට හැකිවනු ඇත. මන්ද අතරින් පතර ලබන ජයග්‍රහණයක් පවා සිරි ලංකා ප්‍රේක්ෂක පිපාසය සන්සිඳුවීමට සමත් වන බව ඔවුන් අත්දැකීමෙන් දනී.

ඒ අනුව තවත් මාස කිහිපයකට අර්බුදය යටගැසීමට ඔවුන්ට හැකිවනු ඇති අතර නැවත අර්බුදය හිස ඔසවන විට මෙවැනිම නාටකයක් කරලියට ගෙනැවිත් අර්බුදය සමනය කිරීම ඔවුන්ට එතරම් ගැටලුවක් නොවේ. මන්ද ප්‍රේක්ෂකයන් සිතනවාට වඩා තිලංග-දයාසිරි හවුල සූර කපටියන්ය.

නාකියා

6 comments:

  1. මේ එකක්වත් දැනගෙන හිටියේ නෑ.. ඒ කියන්නේ ක්‍රිකට් තවදුරටත් මගේ ඒරියා ඔෆ් ඉන්ටරස්ට් අතර නෑ කියන එකද?

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා තව ටික දවසකින් ඕකම තමයි අපිට කියන්න වෙන්නෙත්

      Delete
  2. ඔබ හා එකඟයි. අපේ කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය ඇත්තටම සතුටුදායක නැහැ. දයාසිරි කිව්වත් නොකිව්වත් ඒක තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි. ඒත් දැන් වෙන්නෙ ඒකට පිළියම් හොයන්නැතුව අර්බුදය වෙන පැත්තකට හරවන එක

      Delete
  3. digin digatama asarthka wena chandimalta gahanna dena hethuwa mokakda eya cricket wala awasana purukada?

    ReplyDelete
    Replies
    1. චන්දිමාල් වෙනුවට වෙන කවුද ඉන්නෙ රිප්ලේස් කරන්න. අනික චන්දි වෙනුවට වෙන කෙනෙක් දැම්මා කියලා හැමදේම හරියන්නෙ නෑ නෙ. ජාතික ක්‍රිකට් කණ්ඩායම ගොඩගන්න ප්ලෑන් කරලා කිසි තේරුමක් නෑ. අංක එකටම කරන්න ඕන ලංකාවෙ පළමු පෙළ හදලා ගන්න එක. එතකොට ජාතික කණ්ඩායම ඉබේම හැදෙනවා.

      Delete