Monday, June 19, 2017

අයියෝ දයා.........

දයාසිරි ජයසේකර හෙවත් සිරි ලංකා ආණ්ඩුවේ ගරු ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පසුබෑමට හේතුවී ඇත්තේ ඔවුන් බඩ තඩියන් වීම බවයි. එයට පිළියම් ලෙස ක්‍රීඩා ඔහු යෝජනා කරන්නේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මාස 6 ක හමුදා පුහුණුවක් ලබාදීමයි. ක්‍රීඩා අමාත්‍යතුමාගේ පැහැදිලි කිරීමේ කිසිදු ගැටලුවක් නොමැත. ඔහුගේ කතාවට සම්පූර්ණ එකඟය.

අපේ ක්‍රීඩකයන් අතටම එන උඩ පන්දු කිසිදු අපහසුවකින් තොරව බිම අතහරී. එපමණක් නොව ලකුණු 30 ක් 40 ක් ලබාගන්නා පිතිකරුවන් හොඳටම හෙම්බත්ය. බොහෝ ක්‍රීඩකයන්ට පහසු පන්දුවකට හෝ හයේ පහරක් එල්ල කිරීමට නොහැකිය. හතරේ සීමාව අසල පන්දු රැකීම අන්තිම දුර්වලය. එය කිසිසේත් ජාත්‍යන්තර මට්ටමට නොගැලපේ.

එහෙත් ගැටලුව වන්නේ මෙම තත්වය තේරුම් ගැනීමට ගරු ක්‍රීඩා අමාත්‍යතුමාට අවුරුද්දකුත් පුරා මාස 9 ක් ගතවීමයි. එසේ නැතහොත් 2015 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා ක්‍රීඩා අමාත්‍යධූරයට පත්වූ දයාසිරි ජයසේකර මහතාට ක්‍රීඩකයන්ගේ පසුබෑමට හේතුව සොයාගැනීමට 2017 ජුනි මාසය තෙක් ගතවීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබැසීම ආරම්භ වූයේ 2015 වසරේ ආරම්භයත් සමගයි. 2014 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ අතර ලැබුණු ජයග්‍රහණය අලෙවි කරමින් පාලකයන් ජයපැන් බීම පමණක් සිදුවිය.

මෙම තත්වය සමාන කළහැක්කේ 1996 ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ ඉරණමටය. ඒ කෙසේද යත් 1999 ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට අපට සිදුවිය.

2015 දී ආරම්භ වූ පසුබෑම 2015 එක්දින ලෝක කුසලානයේදී තීව්‍ර වූ අතර 2016 වසරේ 20/20 ලෝක කුසලානයේදි එය තවදුරටත් තහවුරු විය.

2019 ලෝක කුසලානය සඳහා ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් හත සහ සත්කාරක එංගලන්තය කෙලින්ම තරගාවලියට සුදුසුකම් ලබන අතර සෙසු කණ්ඩායම් දෙක තෝරාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වේ. ඒ අනුව මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ අප පසුවන අතර එය අවදානම් සහගත තත්වයකි. එහෙත් අපට ඇති එකම සැනසීම වන්නේ 9 වැනි ස්ථානයේ සිටින කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණුවලින් තරමක් පහලින් සිටීම හා සැප්තැම්බර් මාසය වනවිට ඔවුන් ශ්‍රී ලංකාව ඉක්මවා යා හැකි මට්ටමට නොපැමිණීමයි.

මෙම තත්වය 2015 පටන් අප ප්‍රකාශ කළද ගැටලුව වන්නේ පාලකයන්ට එය නොතේරීමයි. එසේ නැතහොත් තේරුම් ගත්තද නොතේරුනාක් මෙන් කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකාවේ පසුබෑම සඳහා ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් හා ක්‍රිකට් පරිපාලනය ද සමානව වගකිව යුතුය. ඒ අනුව වත්මන් පසුබෑමේ වගකීමෙන් නිදහස්වීමට ක්‍රීඩ ඇමතිවරයා ලෙස දයාසිරි ජයසේකර මහතාට කිසිසේත් නොහැකිය.

ක්‍රීඩකයන් තරගවලට ගැලපෙන මට්ටමෙන් නොමැති නම් එය පුහුණුකාරීත්වයේ වරදකි. දයාසිරිගේ වචනවලින්ම කියන්නේ නම් ක්‍රීඩකයන්ගේ බඩ වැඩිවීමට පුහුණුකරුවන් සෘජුවම වගකිව යුතුය. පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කළේ පුහුණුකරුවන් කටයුතු කරන්නේ ක්‍රීඩකයන්ගේ අධිකාරී බලය යටතේ බවයි. තත්වය එසේ නම් මිලියන ගණනින් වැටුප් ගෙවා ඔවුන් නඩත්තු කරන්නේ කුමක් සඳහාද ? ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාගේ ආකල්පය කුමක්ද ?

ක්‍රීඩා අමාත්‍යවරයා චන්දික හතුරුසිංහ බංග්ලාදේශයේ පානා හපන්කම් පිළිබඳව උදම් අනයි. එහෙත් එවැනි සම්පත් නොසලකා හැරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලකයන් ලැජ්ජාවට පත්විය යුතුය.

පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ අධිකාරී බලයට නතුවන්නේ නම් ඔවුන්ගෙන් සිදුවන සේවාවක් නොමැති බව දැන් හෝ ක්‍රීඩා ඇමතිවරයා තේරුම් ගත යුතුය. එසේ නොතේරෙනවා යැයි සිතිය නොහැකි අතර තේරුම් ගත්තද එය නොදුටුවාක් මෙන් සිටින බව නම් අපට හොඳින් තේරුම් ගොස් තිබේ.

අනෙක් කරුණ වන්නේ මෙරට දේශීය තරග මට්ටම බින්දුවටම වැටී තිබීමයි. වර්තමානය වනවිට හරිහැටි පළමු පෙළ තරගාවලියක් හෝ පැවැත්විය නොහැකි තරමට එය අගාධයක ගිලී තිබේ. පසුගිය කාලයේදී හදිසියේ අටවාගත් දිස්ත්‍රික් තරගාවලියක් හා පළාත් තරගාවලියක් පැවැත්වුවද එම තරගාවලිවල තරගකාරීත්වය සම්බන්ධයෙන් අමුතුවෙන් කිවයුතු නැත. එසේම පළාත් තරගාවලියේ තරග සඳහා අවම මට්ටමින් පාසල් ක්‍රීඩකයන්ගෙන් හෝ ප්‍රේක්ෂකාගර පිරවීමට අසමත්ය. අඩුගණනේ ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන් හෝ ක්‍රීඩාංගනයට ගෙන්වා ගැනීමට මෙරට ක්‍රිකට් පාලකයන් අසමත්ය.

දේශීය තරග සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය එතරම් වැදගත් නොවන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ පමණක් නොව බංග්ලාදේශයේ පවා දේශීය තරග ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගෙන ඇති ආකාරය අධ්‍යයනය කිරීමෙන් එය කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි කරගත හැකිය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩගැනීමට ක්‍රීඩා ඇමතිවරයාට උනන්දුවක්, උවමනාවක් තිබෙන්නේ නම් කළයුත්තේ ක්‍රීඩකයන්ට පෙර පුහුණුකරුවන්ට හා පරිපාලකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමයි. ඊට පෙර අවශ්‍ය නම් ඔවුන්ගේ මොළ සේදීම සඳහා (බ්‍රේන්වොෂ්) කුමක් හෝ කළහැකිය. අඩුගණනේ කණ්ඩායමේ සාමාජිකයන් ගණනට වඩා මදක් අඩු පුහණුකරුවන් රොත්තට පුහුණුකරුවන් ලෙස ක්‍රියා කිරීමේදී දැනසිටි මූලික පුහුණු ක්‍රමවේද හෝ උගන්වීම සඳහා කටයුතු කළයුතුය. මන්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දකින විට අපට පෙනෙන්නේ ඔවුන් මූලික පුහුණු ක්‍රමවේද හෝ නොදන්නා විශේෂඥ, ලොවෙත් නැති පුහුණුකරුවන් පිරිසක් බවයි.

අනෙක් කරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට යනතෙක් බලාසිටි පරිපාලකයන්ට ද විශේෂ පුහුණුවක් ලබාදිය යුතුය. ඕනෑනම් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට ද ඒ සඳහා සහභාගි වීම වැදගත් වනු ඇත.

අතීතයේදී ශ්‍රී ලාංකික පුහුණුකරුවන් බිලිබා ගැනීමට ලොව සියලු රටවල් බලාසිටි අතර ඒ සඳහා ඩෙව් වට්මෝර්, ටොම් මූඩි වැන්නන් උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත් වත්මන් පුහුණුකරුවන් නම් ලොව කිසිදු රටක ප්‍රාන්ත කණ්ඩායමකට හෝ වද්දා ගන්නේ නැත. ඔවුන් ඒ තරම් ලොවෙත් නැති පුහුණුකරුවන් වී තිබේ.

නාකියා

3 comments: