Tuesday, June 13, 2017

සංගක්කාරට ගල් ගහන්න එන්න

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින කුමාර සංගක්කාර තරගාවලිය ආරම්භයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුර හේතුවෙන් සිරි ලංකා ප්‍රේක්ෂකයන් බෙහෙවින් කැළඹීමට පත්විය.

සංගක්කාරගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසකම් ලබාගන්නේ කුමන කණ්ඩායම් දෙකද යන්නයි. සංගක්කාරගේ පිලිතුර වූයේ අවසන් තරගය සඳහා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සුදුසුකම් ලබනු ඇත යන්නයි. මෙම ප්‍රකාශය හේතුවෙන් සිරි ලංකා ප්‍රේක්ෂකයන් කලබල වූ අතර ඔවුන් පැවසූයේ සංගක්කාර දඬුකඳේ ගැසිය යුතු බවයි.

සෙසු විස්තර විචාරකයන් තමන්ගේ රටේ කණ්ඩායම අවසන් තරගයට පැමිණෙන බව ප්‍රකාශ කරද්දී සංගක්කාර වෙනත් කණ්ඩායම්වල නම් සඳහන් කිරීම වැරදි බව අපේ ප්‍රේක්ෂකයන්ගේ මතයයි. ඔහු අනිවාර්යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නම සඳහන් කළයුතුව තිබූ බවත් රසල් ආනල්ඩ් සිටියා නම් අනිවාර්යෙන් අවසන් තරගය ශ්‍රී ලංකාව පැමිණෙන බව ප්‍රකාශ කරන්නේය යන්න සිරි ලංකා ප්‍රේක්ෂකයන්ගේ මතයයි.

පළමු කරුණ වන්නේ කුමාර සංගක්කාර මෙම තරගාවලියේ විස්තර විචාරයට එක්වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නොවේ. මෙවැනි තරගාවලිවල විස්තර විචාරකයන් තෝරා ගන්නේ තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමයි. ඒ අනුව ඔවුන් තෝරාගන්නා පුද්ගලයන් හා ඔවුන්ගේ රටවල් අතර කිසිදු බැඳීමක් නැත. තවත් පැත්තකින් කියන්නේ නම්, සංගක්කාරට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත.

දෙවැනි කරුණ සෙසු විස්තර විචාරකයන් තමන්ගේ රට අවසන් තරගයට පැමිණෙන බව ප්‍රකාශ කළේ එවැන්නක් සිදුවීමේ හැකියාවක් තිබෙන නිසාය. තරගාවලිය ආරම්භ වනවිට එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවලට ශූරතාවයට හිමිකම් කීමට වැඩි ඉඩක් තිබිණි. ඉතින් එම රටවල් අවසන් තරගයට පැමිණෙන්නේ යැයි ප්‍රකාශ කිරීමේ වැරැද්ද කුමක්ද ? එහෙත් ශ්‍රී ලංකාව හෝ බංග්ලාදේශය අවසන් තරගයට පැමිණේ යැයි තරගාවලිය ආරම්භයේදී ප්‍රකාශ කිරීමට තරම් වන හේතුව කුමක්ද යන්න වටහාගත යුතුය. ඒ තරගාවලිය ආරම්භ වනවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්තානය පිළිවෙලින් ශ්‍රේණිගත කිරීම්වල 6, 7, 8 යන ස්ථානවල සිටි බැවිනි.

සංගක්කාරලා මේ නෙලන්නේ වසර කිහිපයකට ඉහත ඔවුන් වගාකළ බීජවල අස්වැන්නයි. ඔවුන්ට වර්තමානයක් විනා අනාගතයක් තිබුනේ නැත. එසේ නැතහොත් අනාගතය වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමට වැඩපිලිවෙලක් තිබුනේ නැත. සංගක්කාරලා ජාත්‍යන්තරය ඉදිරියේ උජාරුවෙන් පවසන්නේ ඒ කටුක සත්‍යයයි. එහෙයින් සංගක්කාරට ගල් ගසන්නට බලා සිටින්නන් පහත සඳහන් කරුණුද අවධාරණය කරගත යුතුය.

සංගක්කාරට ගසන්නට එකතු කරගත් එක ගලක් ගැසිය යුත්තේ වත්මන් පසුබෑමට ප්‍රධාන වගකිවයුත්තන් පිරිසක් වන සිරි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමටයි. ඉතිහාසය පුරා ඉඳහිට පරාජය ලබන ජාතික කණ්ඩායම ඉඳහිට ජයග්‍රහණයක් ලබන තත්වයට පත්වීම සඳහා ඔවුන් සෘජුවම වගකිවයුතුය. අද ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ යන යන තැන සෙල්ෆි ගැසීම සහ පරාජයෙන් පසුව නිදහසට කාරණා පැවසීමයි. අද ශ්‍රී ලංකාව සියලු අංශයන්ගෙන් බංග්ලාදේශයටත් වඩා පහතට වැටී ඇත. තවත් ටික කලකින් නේපාලය, හොංකොං, නෙදර්ලන්තය තත්වයට ම වැටීම නොවැලැක්විය හැකිය.

දෙවැනි ගල ගැසිය යුත්තේ කණ්ඩායම් කළමනාකාරිත්වයට හා සුමතිපාල ප්‍රමුඛ ක්‍රිකට් ආයතනයටයි. මිලියන ගණන් මුදල් කාබාසීනියා කරනවා හැරෙන්නට ඔවුන් සිදුකරන සේවයක් නොමැත. අවම මට්ටමින් හරිහැටි දේශීය තරගාවලියක් පවා පැවැත්වීමට වර්තමානයේදී ක්‍රිකට් පාලකයන් අසමත් වී ඇත. එය පසුගිය සමයේ දේශීය තරග මට්ටම පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. සිය ඡන්ද පදනම වර්ධනය කරගැනීම සඳහා හිතූ හිතූ පරිදි ක්‍රීඩා සමාජ ප්‍රමාණය වැඩිකිරීමෙන් ක්‍රිකට් සංවර්ධනය වන්නේ යැයි ඔවුන් සිතන්නේ නම් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ක්‍රිකට් තිබිය යුත්තේ බින්දුවටත් පහලිනි. මන්ද එම රටවල දේශීය තරගාවලි සඳහා සහභාගි වන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු කණ්ඩායම් සංඛ්‍යාවක් බැවිනි.

තෙවැනි ගල ගැසිය යුත්තේ කෝටි ගණනක් වියදම් කරමින් නඩත්තු කරන පුහුණුකරුවන් රැළටයි. පුහුණුකරුවන් සිටිය යුත්තේ ක්‍රීඩකයන්ට වඩා ඉහළිනි. ඔවුන් සිටින්නේ ක්‍රීඩකයන්ගේ කරට අතදාගෙන නම් කිසිවෙක් ඔවුන්ට අවනත නොවනු ඇත. වත්මන් පුහුණුකරුවන් යන් ක්‍රීඩකයන්ගේ බහට අවනතව ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන පිරිසකි. එවැනි පුහුණුකාර රොත්තකගේ ආනුභාවය පසක් කරගත හැකි වන්නේ වත්මන් කණ්ඩායමේ පන්දු රැකීම දෙස බැලීමේදීය. වෙනත් කණ්ඩායම්වල ක්‍රීඩකයන් ඉහළින් ඇදීයන පන්දු උඩපන්දු බවට පරිවර්තනය කරගනිද්දී අපේ ක්‍රීඩකයන් අතටම එන උඩපන්දු කිසිදු අපහසුවකින් තොරව බිම අතහරින තත්වයට පත්ව තිබේ. සෑම තරගාවලියක් අතරතුරම අපේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ආබාධවලට ලක්වන්නේ එම පුහුණුකරුවන්ගේ ආනුභාවය හේතුවෙනි.

අවසන් ගල ගැසිය යුත්තේ කණ්ඩායමේ සියලු වැරදි නොදුටුවාක් මෙන් සිටිමින්, එක් එක් ක්‍රීඩකයන් බදාගෙන සිටින සිරි ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටය. කණ්ඩායම කෙතරම් පරාජයට පත්වුවද ඔවුන් කිසිදු ගැටලුවක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමාගේ ක්‍රීඩකයා දක්ෂතා දැක්වීම පමණි. අදාල ක්‍රීඩකයා ලබාගන්නා ලකුණු ප්‍රමාණය හෝ ලබාගන්නා කඩුලු ප්‍රමාණය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා කෙතරම් දායකත්වයක් දැක්වූයේද යන්න ඔවුන්ට ගැටලුවක් නොවේ. කෙසේ හෝ ලකුණු ටිකක්, කඩුලු කිහිපයක් ලබාගන්නේ නම් කණ්ඩායමට කුමන ඉරණමක් අත්වුවද කිසිදු ප්‍රශ්නයක් නොමැත. ඔවුන්ට අවශ්‍ය තමාගේ ක්‍රීඩකයා දැක්වූ දක්ෂතා වර්ණනා කරමින් සෙසු ක්‍රීඩකයන්ට අපහාස, චෝදනා එල්ල කිරීම පමණි. එක් අතෙකින් බැලුවහොත් මෙවැනි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. සිරි ලංකා ස්පෙෂල්ය.

මේ යන ආකාරය අනුව නම් 2019 ලෝක කුසලාන තරගාවලියේදී සිරි ලංකා කණ්ඩායමට අබ සරණය. දැන්වත් ක්‍රිකට් ගොඩගැනීමට වැඩපිළිවෙලක් සකස් නොකළහොත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගිවීමට සිදුවීම අනිවාර්ය වේ.

එන්න... සංගක්කාරට ගල් ගහන්න එන්න......

නාකියා

1 comment: