Tuesday, July 4, 2017

ඕයි සුමති.... ක්‍රිකට් ආයතනෙ වහලා දාමුද ?

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පටන් සිරි ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නමැති ගිනි කන්ද දැඩිලෙස උණුසුම්ය. දුම් දමමින් තිබූ ගිනිකන්දේ විශාල පිපිරීමක් සිදුව තිබේ.
ඒ චාලි ඔස්ටින් නමැති කළමනාකාර සමාගම පිළිබඳවයි. සමහරෙකු ඔහු එක් පුද්ගලයෙකු ලෙස හඳුන්වන අතර සමහරෙකු ඒ කළමනාකාර සමාගමක් ලෙස හඳුන්වයි.

කෙසේ වුවද මේ දිනවල සිරි ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය වසාගෙන සිටි කුණු ගොඩවල් එකින් එක එළියට පැමිණෙමින් තිබේ. අනාගතය අතින් එය ඉතා යහපත්ය. ක්‍රිකට් ඉදිරියට නොගියද එහි ඇතුළත ඇති කුණු ගොඩවල් එළියට පැමිණීම හරහා ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද හා වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ මොනාවද යන්න පිළිබඳව බහුතර සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ.

චාලි ඔස්ටින් හෝ එවැනි සමාගමක් හෝ එසේ නැතහොත් ක්‍රිකට් ක්ෂේත්‍රයට පරිබාහිර පුද්ගලයන් පිරිසක් විසින් මෙරට ක්‍රිකට් පාලනය කරන බව පැවසීමට ඕනෑතරම් සාක්ෂි තිබේ. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙවැනි පුද්ගලයන් ඉතිහාසය පුරා සිරි ලංකා ක්‍රිකට් හා බැඳී සිටි අතර ඒ පුහුණුකරුවන්, කළමනාකරුවන්, විස්තර විචාරකයන්, දේශපාලකයන් මෙන්ම ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ පුද්ගලයන්ගේ වේශයෙනි. ඔවුන් විවිධ වේශයන්ගෙන් පෙනී සිටිමින් සිරි ලංකා ක්‍රිකට් සඳහා විවිධ මැදිහත්වීම් සිදු කළහ.

එහෙත් වර්තමානයේ තරම් එම මැදිහත්වීම් සිරි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කිරීමට සමත් නොවීය. දැන් මෙරට ක්‍රිකට්වල සිදුවන්නේ කුමක්ද යන්න නිශ්චිතව පැවසීමට නායකයා ප්‍රමුඛ ක්‍රීඩකයන්ද අසමත්ය... ක්‍රිකට් ආයතනය ද අසමත්ය... පුහුණුකරුවන්ද අසමත්ය.... ඒ තබා ක්‍රීඩා ඇමතිවරයා ද අසමත්ය. සිදුවන්නේ කුමක්ද යන්න දැන සිටියද ඒවා පාලනය කිරීමට ඔවුන් අසමත්ය. සමත් නම් ඔවුන් විවිධ කතා කියමින් ක්‍රිකට් මහා ජෝක් එකක් කරනවා වෙනුවට වැටී ඇති ක්‍රිකට් ගොඩගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළයුතුය. ඒ සඳහා අවශ්‍ය සම්පත් හා මුල්‍යමය ශක්තිය ක්‍රිකට් ආයතනය සතුය. එහෙත් එවැනි වැඩපිළිවෙලක් පේනතෙක් මානයක නැත. සියලු දෙනා කරන්නේ රිළා නාටක, නරි නාටක පෙන්වමින් සිරි ලංකා ක්‍රිකට් පට්ට ජෝක් එකක් කිරීම පමණි.

මේ යනවිදියට නම් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කියා ආයතනයක් අවශ්‍ය නොවේ. මන්ද සිරි ලංකා ක්‍රිකට් පාලනය කරගත නොහැකි නම්, ක්‍රීඩකයන් පාලනය කරගත නොහැකි නම් එවැනි ආයතනයක් මිලියන ගණනක් වියදම් කර නඩත්තු කිරීමේ කිසිදු තේරුමක් නැත.

සිරි ලංකා ක්‍රිකට් යනු දැන් අමුතුම එකකි. පුහුණුකරුවන් කටයුතු කරන්නේ ක්‍රීඩකයන්ට අනුවය. ක්‍රීඩකයන්ට අවශ්‍ය නම් පුහුණුවීම් සිදුකළ හැකිය. උන්ට ඕනෑ වෙලාවට උන්ට ඕනෑ උපදෙස් ලබාදීම සඳහා පුහුණුකරුවන් සූදානමින් සිටිය යුතුය. ක්‍රීඩකයන්ගේ ෆිට්නස් තීරණය කරන්නේ ද ක්‍රීඩකයන් විසින්මය. ඔවුන්ට අනුව බඩ වැඩිවීම කිසිදු ගැටලුවක් නොවේ. උඩපන්දු අතහැරීම සාමාන්‍ය දෙයකි. වෙනත් රටවල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් තමන් අසලින් ඇදීයන පන්දු උඩපන්දු බවට පරිවර්තනය කරගනිද්දී අපේ එවුන් අතට එන උඩපන්දුව ද බිම අතහරින්නේ උඩපන්දුවලින් තරගයේ තීරණයට බලපෑම් සිදුකළ නොහැකි නිසාය.

ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුව ද කටයුතු කරන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය පරදිය. ක්‍රීඩකයන් පාලනය කිරීමට හෝ ක්‍රිකට් ආයතනය අසමත් වී තිබේ. ප්‍රසිද්ධියේ ක්‍රිකට් ආයතනය හා ඇමතිවරයා විවේචනය කිරීමට ක්‍රීඩකයන් පෙළඹෙන්නේ ඒ නිසාය.

චාලි ඔස්ටින් පුවත හරහා පෙනෙන්නේ බහුතර ක්‍රීඩකයන් පාලනය කරන්නේ එක් පුද්ගලයෙකු හෝ එක් කණ්ඩායමක් විසින් බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ සිරි ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයම ඔවුන්ගේ පාලනයට නතුවී ඇති බවකි. මෙම පුද්ගලයන්ට අවශ්‍ය මුදල් මිස මෙරට ක්‍රිකට් ක්‍රීඩාව හෝ ක්‍රීඩකයන් ගොඩනැගීම නොවේ. තම කළමනාකාරීත්වය යටතේ සිටින සෑම ක්‍රීඩකයෙකුම උපයන මුදල්වලින් 10% ක් කළමනාකාරීත්වයට ලැබෙන නිසා ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩකයන් හරහා වැඩිපුර මුදල් උපයා ගැනීමටයි. ඒ සඳහා තම ක්‍රීඩකයන් නිරන්තරයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළයුතුය. මේ සඳහා ක්‍රීඩකයන් මෙහෙයවීම අබිභවා ගොස් ක්‍රීඩකයන් හරහා සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයම පාලනය කිරීමට ඔවුන් සමත් වී තිබේ.

ඒ අනුව තවදුරටත් 'හෙට දවස අද දකින' සුමතිපාල ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම බලාත්මක නැත. එම ආයතන රූකඩ මට්ටමට වැටී තිබේ.

දුම් දමමින් සුළු සුළු විදාරණයන් සිදුවෙමින් තිබෙන සිරි ලංකා ක්‍රිකට් ගිනි කන්දේ ඉදිරියට සිදුවන පිපිරීම් සුළුපටු නැත. අවසාන පිපිරීම හරහා සමස්ත ක්ෂේත්‍රයම දැවී අළු බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ. ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩා අමාත්‍යවරයාට තවදුරටත් මෙය නොදුටුවාක් මෙන් සිටිය නොහැකිය. අපට කීමට ඇත්තේ හෙට දවස ද දකින ඔබට මේ ව්‍යසනය නොපෙනෙන්නේ නම් 'ඕයි සුමති, ක්‍රිකට් ආයතනෙ වහලම දාමුද ?' කියාය.

No comments:

Post a Comment