Wednesday, June 20, 2018

බෝල් ටැම්පරිං; පන්දුව පළුදු කිරීමේ ඉතිහාසය

මේ දිනවල ක්‍රිකට් ලෝකයේ ප්‍රධාන මාර්තෘකාව බෝල් ටැම්පරින්ග් (ball-tampering) හෙවත් පන්දුව පළුදු කිරීමයි. කොදෙව්-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වූ අතර මෙම චෝදනාව හේතුවෙන් ඔහුට එක් ටෙස්ට් තරගයක් තහනම් කර තිබේ. අද (21) මෙරට මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.


ක්‍රිකට් තරගයක පළමු පන්දු වාර කිහිපය වේග පන්දු යවන්නන්ට වාසි සහගත වන අතර පන්දුව පැරණි වීම දඟපන්දු යවන්නන්ට වාසි සහගත වේ. වර්තමානයේදී වේග පන්දු යවන්නන් එම වාසිය වඩාත් වැඩි කරගෙන ඇත්තේ පන්දුව දෝලනය කිරීමේ හැකියාව මතයි. පන්දුව දෝලනය කිරීම වඩාත් සරලව කිවහොත් දක්ෂ වේග පන්දු යවන්නෙකු කෙලින් යවන පන්දුව තනතිල්ලේ පතිතවීමෙන් පසුව පන්දුව ගමන් ගන්නා මාර්ගය පිතිකරුවා වෙත හෝ පිතිකරුවාගෙන් පිටතට සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් කළ හැකි වීමයි. ඒ හරහා පිතිකරුවා මුළාවට පත්කළ හැකි අතර ඒ ඔස්සේ පිතිකරුවා දවාගැනීමේ හැකියාව වැඩි වේ.

පන්දුව දෝලනය කිරීම සඳහා පන්දුවේ එක් පැත්තක් දීප්තිමත්ව තබාගන්නා අතර අනෙක් පැත්ත රළු තත්වයට පත්කළ යුතුය. ක්‍රිකට් තරගයක් නරඹන ඔබට පන්දු යවන්නා හෝ මිඩ් ඕන් / මිඩ් ඕෆ් කලාපයේ සිටින පන්දු රකින්නන් නිරන්තරයෙන් පන්දුව සිය කලිසමෙහි පිරිමදිනු හෝ පන්දුව මත කෙල තවරා අතින් පිරිමදිනු දකින්නට ලැබෙනු ඇත. ඔවුන් එසේ සිදු කරන්නේ පන්දුවේ එක් පැත්තක් පැරණි කිරීමටයි, රළු කිරීමටයි.

බෝල් ටැම්පරින්ග් හෙවත් පන්දුව පළුදු කිරීම යන්න සම්බන්ධවන්නේ මෙවිටයි.

මෙය පන්දුව පළුදු කිරීම යන නමින් හැඳින්වුවද සත්‍ය ලෙසම සිදුවන්නේ පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමයි. පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා පන්දු රකින කණ්ඩායමට අවස්ථාව ලබා දී ඇති අතර එහෙත් ඒ සඳහා දැඩි නීති-රීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැක්කේ අත සහ හැඳ සිටින ඇඳුම පමණකි. ඒ සඳහා කෘත්‍රිම ද්‍රව්‍ය කිසිවක් භාවිතා කළ නොහැකිය. පන්දුවේ තෙත ස්වභාවයක් පවතින්නේ නම්, වායුගෝලයේ පින්න අධික අවස්ථාවකදී නම් පන්දුව පිසදැමීම සඳහා ලේන්සුවක් භාවිතා කළහැකි අතර එවැනි අවස්ථාවලදී විනිසුරුවරුන් ඒ පිළිබඳව නිතර විමසිල්ලෙන් සිටී.

බෝල් ටැම්පරින්ග් ඉතිහාසය

පන්දුව පළුදු කිරීම, නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ 1990 දශකයේ මැදභාගයේ සිටය. ඊට පෙර ද එවැනි නීතිවිරෝධී කටයුතු සිදු නොවූවා යැයි විශ්වාස කළ නොහැකිය. කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුවත් සමග විශාල කැමරා ප්‍රමාණයක් හරහා ක්‍රීඩාංගනයේ සෑම තැනක්ම ආවරණය වන බැවින් වර්තමානයේදී එවැනි නීතිවිරෝධී කටයුතු පහසුවෙන් හඳුනා ගැනීමට හැකිව තිබේ.

මයිකල් ඇතර්ටන් - 1994
පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් පළමුව චෝදනා එල්ල වී තිබෙන්නේ ක්‍රිකට් උපන් එංගලන්තයටයි. 1994 වසරේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේදී යම් අපද්‍රව්‍යයක් භාවිතයෙන් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට එංගලන්ත නායක මයිකල් ඇතර්ටන්ට චෝදනා එල්ල විය. ඔහු සිය සාක්කුවට අත දමා යම් ද්‍රව්‍යයක් තවරාගෙන එමගින් පන්දුව පිරිමදින අයුරු කැමරා දර්ශනවලින් හඳුනාගත් අතර මේ නිසා ඇතර්ටන්ට පවුම් 2000 ක දඩයක් නියම කෙරිණි.

වකාර් යුනිස් - 2000
ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගයකදී පකිස්තානයේ වකාර් යුනිස්ට පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ නිසා ඔහුට එක් තරගයක තහනමක් පැනවීය. ඊට අමතරව තරග මුදලින් 50% ක දඩයක් ද නියම කළේය. මෙය පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත තරග තහනමක් පැනවූ පළමු අවස්ථාව වේ. මෙම සිදුවීමට සම්බන්ධ අසාර් මෙහ්මුද්ට ද තරග මුදලින් 30% ක් දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවිය.

සචින් ටෙන්ඩුල්කාර් - 2001
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පොර්ට් එලිසබෙත්හිදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් පන්දුව පළුදු කළ බවට තරග තීරක මයික් ඩෙනිස් තීරණය කළ අතර ඔහු එක් ටෙස්ට් තරගයක තහනමක් පැනවීය. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ පන්දුවේ සීමයට හානි කළ බවටයි. කෙසේ වෙතත් ඉන්දියාව ඊට එරෙහිව කරුණු දැක්වූ අතර සචින් ප්‍රකාශ කළේ පන්දුවේ සීමයේ රැඳී තිබූ තණකොල ඉවත් කිරීම හැර වෙනත් කිසිදු නීතිවිරෝධී දෙයක් සිදු නොකළ බවයි. ඒ අනුව පසුව සචින් අදාල චෝදනාවෙන් නිදහස් කිරීමට ICCය තීරණය කළේය.

ෂොයිබ් අක්තාර් - 2002
හරාරේ ක්‍රීඩාංගනයේ පැවති සිම්බාබ්වේ-පකිස්තාන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදි පකිස්තානු ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ට පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එය එතරම් බරපතල ගැටලුවක් නොවූ අතර අක්තාර්ට තරග තහනමකින් හෝ දඩ මුදලක් නියම නොකෙරිණි.

ෂොයිබ් අක්තාර් - 2003
පකිස්තානය සහ නවසීලන්තය අතර දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති එක්දින තරගයකදී නැවතත් ෂොයිබ් අක්තාර්ට චෝදනා එල්ල විය. මේ නිසා එම තරගාවලියේ අවසන් තරගය ඇතුළු තරග එක්දින තරග දෙකක් ඔහුට අහිමි වූ අතර තරග මුදලින් 75% ක දඩ මුදලක් ද ගෙවීමට සිදුවිය.

රාහුල් ඩ්‍රාවිඩ් - 2004
වාර්ෂික ඕස්ට්‍රේලියානු තුන්කොන් එක්දින තරගාවලියේ ඉන්දියා-සිම්බාබ්වේ තරගය අතරතු ඉන්දීය ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වූ අතර තරග තීරක ක්ලයිව් ලොයිඩ් සිදුකළ පරීක්ෂණයේදී ඔහු වැරදිකරු බවට පත්විය. ඔහුට තරග තහනමක් නොපැණවුවද තරග මුදලින් 50% ක දඩයක් නියම විය.

ඉන්සමාම් උල් හක් - 2006

පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් වඩාත් කතාබහට ලක් වූ පළමු සිදුවීමයි.

එංගලන්තය සහ පකිස්තානය අතර ටෙස්ට් තරගාවලියේ අවසන් සහ සිව්වැනි තරගය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. තරගයේ සිව්වැනි දිනයේ දිවා විවේකය සහ තේ පානය අතර තරග කාලසීමාවේදී පකිස්තානු ක්‍රීඩකයන්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වූ අතර පිටියේ විනිසුරුවරුන් වූ ඩැරල් හෙයාර් සහ බිලී ටොක්ට්‍රොව් ප්‍රතිවාදී එංගලන්තයට පෙනල්ටි ලකුණු 05 ක් ප්‍රදානය කළ අතර පන්දුව මාරු කිරීමට ද තීරණය කළේය. මෙයට විරෝධයක දක්වමින් තේ පානයෙන් පසුව තරගයට සහභාගිවීම පකිස්තානු කණ්ඩායම ප්‍රතික්ෂේප කළ අතර අවසානයේ පිටියේ විනිසුරන් තරගයේ ජයග්‍රහණය එංගලන්තයට ලබාදීමට තීරණය කළේය.

කෙසේ වෙතත් පසුව හෙළිදරව් වූයේ පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පකිස්තානු ක්‍රීඩකයන් නිර්දෝෂී බවයි. එහෙත් විනිසුරු තීරණයට එරෙහිව යමින් ඊට විරෝධය දැක්වීම හේතුවෙන් පකිස්තානු නායක ඉන්සමාම් උල් හක්ට එක්දින තරග හතරක තහනමක් පැනවිණි.

මෙම සිදුවීම වසර කිහිපයක් පුරා ඇදී ගිය අතර 2008 වසරේදී අදාල තරගය ජය-පැරදුමෙන් තොර තරගයක් ලෙස නම් කිරීමට තීරණය විය. කෙසේ වෙතත් එම තීරණයද වෙනස් කරමින් 2009 වසරේදී ගනු ලැබූ තීරණයට අනුව එම තරගය ජයග්‍රහණය නැවත එංගලන්තයට හිමි විය.

ෂහීඩ් අෆ්රිඩි - 2010
පර්ත්හිදී පැවති ඕස්ට්‍රේලියා-පකිස්තාන් 20/20 තරගය අතරතුරදී පන්දුව පළුදු කිරීම හේතුවෙන් පකිස්තානය ෂහීඩ් අෆ්රිඩි වැරදිකරු වූ අතර පන්දුවේ සීමය හපමින් පන්දුව පළුදු කළ බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලිවම ඔප්පු විය. පිටියේ විනිසුරුවරුන් පන්දුව මාරු කළ අතර ෂහීඩ් අෆ්රිඩිට 20/20 තරග 02 ක තහනමක් පැනවිණි.

ෆැෆ් ඩු ප්ලෙසි - 2013
ඩුබායිහිදී පැවති දකුණු අප්‍රිකා-පකිස්තාන් ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය අතරතරු දකුණු අප්‍රිකාවේ ෆැෆ් ඩු ප්ලෙසි පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල විය. ඔහු සිය කලිසමේ සිපරය භාවිතා කරමින් පන්දුව පළුදු කළ බවට පිටියේ විනිසුරුවරුන් හඳුනා ගත් අතර ඩුප්ලෙසි මෙම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට තරග මුදලින් 50% ක දඩ මුදලක් නියම කෙරිණි.

වර්නන් පිලැන්ඩර් - 2014
ඩුප්ලෙසිගේ සිදුවීමෙන් මාස 09 කට පසුව නැවතත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල විය. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරගය අතරතුර නියපොතු භාවිතා කරමින් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල විය. පසුව ඔහු ඒ සම්බන්ධයෙන් වැරදිකරු වූ අතර ඔහු තරග මුදලින් 75% ක දඩ මුදලක් ගෙවීමට සිදුවිය.

ෆැෆ් ඩු ප්ලෙසි - 2016
නැවතත් ඩුප්ලෙසිට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වූ අතර ඒ හෝබාට්හිදී පැවති ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේදීය. එම තරගයේදී නායකයා ලෙස කටයුතු කළ ඩුප්ලෙසි ටොෆි වැනි යමක් උපයෝගී කර ගනිමින් පන්දුව පළුදු කළ බවට කැමරා දර්ශනවලින් අනාවරණය විය. තරගය අවසන්වීමෙන් පසුව ඔහු අදාල චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වූ අතර සම්පූර්ණ තරග මුදලම දඩයක් වශයෙන් ගෙවීමට ඔහුට සිදුවිය.

දසුන් ශානක - 2017
නාග්පූර්හිදී පැවති ඉන්දු-ශ්‍රී ලංකා තරගය අතරතුර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඔහු පන්දුවේ සීමයට හානි කළ බව තහවුරු වූ අතර ඒ සඳහා තරග මුදලින් 75% ක දඩයක් ද නියම කෙරිණි. මීට අමතරව ඔහුට දඬුවම් ලකුණු 03 ක් ද හිමි විය.

කැමරන් බැන්ක්‍රොෆ්ට් - 2018

පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් වඩාත් කතාබහට ලක් වූ දෙවැනි සිදුවීමයි.

කේප්ටවුන්හිදී පැවති ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී කැරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල විය. ඔහු වැලි කඩදාසියක් පිරිමදිමින් පන්දුවේ පැහැය වෙනස් කළ බවට කැමරා දර්ශනවලින් අනාවරණය වූ අතර ඒ පිළිබඳ පිටියේ විනිසුරුවන්ට සාක්ෂි ද සොයාගැනීමට හැකි විය.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී කලින් සැළසුම් කර සිදු කරන ලද්දක් බව අනාවරණය වූ අතර ඒ අනුව නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරගයක් තහනම් කළේය. ඊට අමතරව ඔහුට තරග මුදල් සියල්ල දඩයක් ලෙස ගෙවීමට සිදු වූ අතර කැමරන් බැන්ක්‍රොෆ්ට්ගේ තරග ගාස්තුවෙන් 75% ක දඩයක් නියම කෙරිණි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම සිදුවීම පිළිබඳව දැඩි තීරණයක් ගනිමින් නායක ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් සහ බැන්ක්‍රොෆ්ට මාස 09 ක තරග තහනමක් පැනවීය. මෙවැනි තහනමක් පැනවීම බරපතල වැඩි බවට ඇතැම් පිරිසක් තර්ක කළ අතර තවත් පිරිසක් කියා සිටියේ ඉදිරියේදී පන්දු පළුදු කිරීමේ සිදුවීම් වලක්වා ගැනීමට මෙය පූර්වාදර්ශයක් වනු ඇති බවයි.

දිනේෂ් චන්දිමාල් - 2018

පසුගියදා අවසන් වූ කොදෙව්-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේදි පන්දුවේ පැවැය වෙනස් කිරීම සඳහා 'saliva' නමැති ද්‍රාවණය භාවිතා කළ බවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය. ඔහු මේ වනවිට ඒ සඳහා වැරදිකරු වී ඇති අතර එක් ටෙස්ට් තරගයක තහනමක් පනවා තිබේ. ඒ අනුව ඔහුට කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය සඳහා සහභාගිවීමේ අවස්ථාව අහිමි වේ.

පිටියේ විනිසුරුවරුන් පන්දුව මාරු කර ප්‍රතිවාදී කණ්ඩායමට පෙනල්ටි ලකුණු 05 ක් පිරිනැමීමට ද කටයුතු කළේය. කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ විරෝධය එල්ල වූ අතර ඒ නිසා තෙවැනි දිනයේ තරගය ආරම්භ කිරීම පැය 02 කින් පමණ ප්‍රමාද විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම තීරණය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට නියමති අතර එම පරීක්ෂණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වැරදිකරු වුවහොත් නායක දිනේෂ් චන්දිමාල්ට තවත් තරග කිහිපයක් තහනම් වනු ඇත.

#නාකියා

2 comments:

  1. අර්ජුනලගෙ කාලේ විනිසුරන් එක්ක වාද කරලා තමන්ගේ මත ජයගන්න පුළුවන් උනාට දැන් ඒවා කරන්න බෑ. ලංකාවේ ක්‍රිකට් දුර්වල තැනකයි තියෙන්නේ. පළමුව ක්‍රිකට් හදාගමු. එහෙම නැතුව සෙල්ලම් දාන්න ගියොත් මිට වඩා හොරවැඩ එලියට ඒවි.

    ReplyDelete
  2. "සලයිවා" කියන්නෙ කෙල
    https://en.wikipedia.org/wiki/Saliva

    ReplyDelete