Tuesday, May 16, 2017

චැම්පියන්ස් කුසලාන ඉතිහාසය - 01

චැම්පියන්ස් කුසලාන අටවැනි අදියර නොබෝ දිනකින් එංගලන්තයේදී ආරම්භ වේ. ඒ රටවල් 8 ක සහභාගීත්වයෙනි.
චැම්පියන්ස් කුසලනා තරගාවලිය මුල්වරට පැවැත්වූයේ 1998 වසරේදීය. ටෙස්ට් තත්වය අහිමි රටවල ක්‍රිකට් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරගාවලිය ආරම්භ කෙරිණි. ඒ අනුව ටෙස්ට් තත්වය අහිමි රටවල තරගාවලිය පැවැත්වූ අතර ඉන් ලබන ආදායම ද නැගී එන ක්‍රිකට් කණ්ඩායම් සඳහා වැය කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණක් විය.

කෙසේ වෙතත් ලෝක කුසලාන එක්දින තරගාවලිය හමුවේ මෙම තරගාවලියට සැමවිටම ලැබුනේ දෙවැනි තැනයි. ඒ නිසාම විටින් විට තරගාවලිය පවත්වන ආකාරය වෙනස් වූ අතර එසේම විටෙක මෙය අත්හැර දැමීමට ද යෝජනා කෙරිණි. එය හොඳින්ම පැහැදිලි වන්නේ වසර දෙකකට වරක් පැවැත්වීමට යෝජනා වූ මෙම තරගාවලිය විටෙක වසර තුනකට වරක් ද විටෙක වසර හතරකට වරක් ද පැවැත්වීම නිසාය.

මුලින් තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙස සංවිධානය වූ නමුදු පසුව ලීග් ක්‍රමයට තරග පැවැත්විණි. එසේම මෙම තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය සම්බන්ධයෙන් ද අයිසීසීයට නිශ්චිත එකඟතාවයක් නොමැත. උදාහරණයකට 1998 පළමු තරගාවලියේදී එවකට ටෙස්ට් රටවල් 9 පමණක් තරග වදින අතර 2002 තරගමාලාවේදී රටවල් 12 ක් සහභාගි වන්නේ ටෙස්ට් තත්වය අහිමි රටවල් දෙකක් ද සමගිනි.

කෙසේ වෙතත් අටවැනි අදියර වනවිට මෙම තරගාවලිය ඇරඹීමේ මුඛ්‍ය අරමුණුවලින් එය කෙතරම් විතැන් වී තිබේද යන්න පැහැදිලිය. වර්තමානය වනවිට මෙම තරගාවලි කිසිදු ආකාරයකින් හෝ නැගී එන කණ්ඩායම්වලට කිසිදු උත්ප්‍රේරකයක් සපයන්නේ නැත. මේ වනවිට නැවතත් තරගාවලිය ටෙස්ට් තත්වය හිමි රටවලට සීමා ඇති අතර ඉනුදු ඔබ්බට ගොස් එය කණ්ඩායම් අටකට සීමා වී තිබේ.
මෙවර තරගාවලිය ටෙස්ට් තත්වය හිමි කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට ද අහිමි වී තිබේ. එසේම ටෙස්ට් තත්වය අහිමි රටවල ක්‍රිකට් ජනප්‍රිය කිරීමේ අරමුණින් එම රටවල තරගාවලිය පැවැත්වීම තරගාවලියේ මුඛ්‍ය අරමුණක් වුවද එය අදාල වූයේ පළමු තරගාවලි දෙක සඳහා පමණි. එහෙත් වර්තමානය වනවිට ටෙස්ට් තත්වය අහිමි රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් මෙවැනි තරගාවලියක් සඳහා අවශ්‍ය අවශ්‍ය සම්පත්වලින් පොහොසත්ය. එහිදී අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය ඉදිරියෙන්ම සිටින අතර අයිසීසීයට අවශ්‍ය නම් මැලේසියාවේ වුවද මෙවැනි තරගාවලියක් පැවැත්වීමේ හැකියාව පවතී. එසේම ක්‍රිකට් ඉතා වේගයෙන් ජනප්‍රිය වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඕනෑවටත් වඩා තිබෙන අතර එසේ නැතහොත් ඇමරිකාවේ වුවද (අප අමතක නොකළ යුත්තේ පළමුවැනි තරගාවලියේ සත්කාරකත්වය ඇමරිකාව ද ඉල්ලා තිබිණි) මෙවැනි තරගාවලියක් පැවැත්වීම එතරම් අපහසු නොවේ.

එහෙත් අයිසීසීයට එවැනි අවශ්‍යතාවයක් නොදැනෙන අතර මෙම තරගාවලිය කෙසේ හෝ පවත්වාගැනීම පමණක් වර්තමානයේ ඔවුන්ගේ අවශ්‍යතාවය තිබේ.

පසුගිය තරගාවලි ජයග්‍රාහකයන් මෙසේය.
1998 බංග්ලාදේශයේදී - දකුණු අප්‍රිකාව
2000 කෙන්යාවේදී - නවසීලන්තය
2002 ශ්‍රී ලංකාවේදී - ශ්‍රීලංකාව/ඉන්දියාව (සම ශූරයන්)
2004 එංගලන්තයේදී - බටහිර ඉන්දීය කොදෙව්
2006 ඉන්දියාවේදී - ඕස්ට්‍රේලියාව
2009 දකුණු අප්‍රිකාවේදී - ඕස්ට්‍රේලියාව
2013 - එංගලන්තයේදී - ඉන්දියාව
1998 පළමු තරගාවලියේ තොරතුරු සමගින් හමුවෙමු.

No comments:

Post a Comment