Sunday, February 26, 2017

හේරත් කැප්ටන් කිරීමේ අරුමය........

ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් ආබාධිත තත්වයේ සිටීම හේතුවෙන් රංගන හේරත් ඉදිරි ටෙස්ට් තරගාවලියේ නායකත්වයට පත්කර තිබේ. පසුගිය සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේදීද මෙවැනිම දෙයක් සිදුවිණි. ඇන්ජලෝ මැතිව්ස් ආබාධ හේතුවෙන් අදාල සංචාරයට සහභාගි නොවූ අතර එවකට උපනායක දිනේෂ් චන්දිමාල් ද ඒ වනවිට සිටියේ ශල්‍යකර්යකට භාජනය වී සුව අතට පත්වෙමිනි. ඒ අනුව තේරීම් කමිටුවේ එකම විකල්පය වූයේ රංගන හේරත්ය.

බංග්ලාදේශ සංචාරයේ නායකත්වයට රංගන හේරත් පත්කරන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර ඇති අතර ඉන් නොකියා කියන්නේ දිනේෂ් චන්දිමාල් ද ටෙස්ට් සංචිතය සඳහා සුදුසුකම් නොලබන බවද ? දකුණු අප්‍රිකානු සංචාරයේදී ඔහු අසාර්ථක වුවද මාගේ හැඟීම නම් ඔහු ටෙස්ට් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු බවයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේදී උපරිම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශයට එරෙහිව ද ඉහළ දස්කම් පෙන්වා තිබේ. මැතිව්ස් ද කණ්ඩායමේ නොමැති තත්වයකදී චන්දිමාල්ගේ අඩුව කැපී පෙනෙනු ඇත.

රංගන හේරත් තව අවුරුදු කිහිපයකින් විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ඔහුගේ නායකත්වයට දිගු අනාගතයක් නොමැත. එසේම මැතිව්ස්ගේ නායකත්වය සම්බන්ධයෙන් ද ගැටලු ගණනාවකි. ඒ අනුව නව නායකත්වයක් සඳහා අත්හදාබැලීම් සිදුකිරීමට අපට ලැබෙන හොඳම අවස්ථාව මෙම තරගාවලියයි. ඒ නිසා රංගන හේරත් වෙනුවට දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ නායකත්වය හිමිවිය යුතුය. යම්හෙයකින් ඔහු කණ්ඩායමට නම් නොකරන්නේ නම් වෙනත් ක්‍රීඩකයෙකුට නායකත්වය ලබාදී අනාගතය වෙනුවෙන් අත්හදා බැලීමක් සිදුකළ යුතුය. මෙහිදී උපුල් තරංග සම්බන්ධයෙන් සලකා බැලීම ද අනාගතය වෙනුවෙන් වැදගත් වේ. එසේ නැතහොත් තෝරාගැනීම වියයුත්තේ ධනංජය සිල්වා හෝ කුසල් මෙන්ඩිස්ය. ඒ ඔවුන් දෙදෙනා මේ වනවිටත් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයන් බවට පත්ව තිබෙන නිසාය.

එහෙත් තේරීම් කමිටුව මෙවැනි අභියෝගාත්මක තීරණයකට එළඹෙන්නේදැයි යන්න සැක සහිතය. ඒ අන් කිසිවක් නිසා නොව මේ වනවිට දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති තේරීම් කමිටුව මෙම තරගාවලියට තම උපරිම තුරුම්පු භාවිතා කර තරාගවලි ජයග්‍රහණයක් සමගින් එල්ල වී ඇති අපවාද සෝදාගැනීමට කටයුතු කරනු ඇත යන්න විශ්වාස කළහැකි නිසාය. එසේම අවදානම් සහගත තීරණ ගැනීමට තේරීම් කමිටුව පසුබට වන බව දන්නා නිසාය.

එහෙත් එක් දෙයක් තේරීම් කමිටු සභාපතිවරයාට සිහිපත් කළයුතුය. 1999 වසරේ එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිය බලා පිටත්ව ගිය කණ්ඩායම නැවත හැරී ආවේ අන්ත පරාජයකට පත්ව පළමු වටයෙන්ම ඉවතට විසිවී ගොස්ය. එවකට පැවති තේරීම් කමිටුව අවදානම් සහගත දැඩි තීන්දුවකට එළඹෙමින් එවකට නායකයා සහ උපනායකයා ලෙස කටයුතු කළ අර්ජුණ සහ අරවින්ද එම තනතුරුවලින් ඉවත් කොට නායකත්වයට සනත් ජයසූරිය සහ උප නායකත්වයට මහේල ජයවර්ධන නම්කළේය. එමෙන්ම අර්ජුණ සහ අරවින්ද එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන්නට තරම් එවක සිටි තේරීම් කමිටුව නිර්භීත විය.

එම තීරණය නිවැරදිව බව පසක් කරමින් සනත් ජයසූරිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම එරෙහිව පළමු ඓතිහාසික ටෙස්ට් තරග ජයග්‍රහණය සඳහා කණ්ඩායම මෙහෙයවීමට සමත් වූ අතර එතැනින් නොනැවතී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් අයිවා කුසලාන තුන්කොන් එක්දින තරගාවලියද ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම තත්වය වත්මන් තේරීම් කමිටු සභාපතිවරයාට අමතක විය නොහැකිය. ඒ අනුව ඔහු සිදුකළ යුත්තේ නැවත අතීතය ආවර්ජනය කිරීමයි.

අනාගත නායකත්වය වෙනුවෙන් අත්හදා බැලීම් සිදුකිරීම සඳහා තේරීම් කමිටුවට අගනා අවස්ථාවක් ලැබී ඇති අතර ඉන් උපරිම ප්‍රයෝජන ගන්නේදැයි විමසිල්ලෙන් බලා සිටිනවා හැරෙන්නට වෙන කුමක් කරම් ද ?

ඇඩ්මින් #නාකියා

No comments:

Post a Comment