Wednesday, July 6, 2016

හැත්තෑව දසකෙත් 20/20 ගහපු කොල්ලො යකෝ අපි......

ලොව පළමු 20/20 තරගය පැවතියේ 2003 වසරේදීය. ඒ එංගලන්තයේ ඩර්හැම් හා නොටිංහැම් ප්‍රාන්ත අතරයි. ඉන් වසර දෙකක් ඇවෑමෙන් පළමු ජාත්‍යන්තර 20/20 තරගය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්විණි.

එහෙත් වාර්තා අතරට එක් නොවූ 20/20 තරගයක් ඊට පෙර පවත්වා තිබේ. එ් 20/20 ක්‍රිකට් ගැන සිතන්නටත් බොහෝ කලකට පෙරයි. එනම් පළමු ඕවර් 20 තරගයට දශක තුනකට පෙරාතුවයි.


මේක පළවෙනි 20/20 තරගෙද කියල නං කියන්න දන්නෑ. ඒත් රටවල් දෙකක ජාතික කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරපු පළවෙනි 20/20 තරගෙ නං මේක වෙන්නැති. මේ ගැන කවුරු හරි දන්නව නං කියන්ට ඈ...........

මෙම තරගය පැවතියේ එවකට ලොව සිටි භයානකම වේගපන්දු යවන්නන්ගෙන් සහ සුපිරි පිතිකරුවන්ගෙන් සමන්විත කොදෙව් කණ්ඩායම සහ එවකට දුර්වල ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි. ඒ 1975 පළමු එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුරයි.

ශ්‍රී ලංකාව තමන්ගෙ මංගල එක්දින තරගයට සහභාගි වුනේ 1975 ලෝක කුසලාන තරගාවලියේදීය. ප්‍රතිවාදීන් ප්‍රබල කොදෙව් කණ්ඩායමයි. 1975 ජුනි 07 වැනිදා මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ක්ලයිව් ලොයිඩ්ගේ ඇරයුමින් පිටියට පිවිසි අනුර තෙන්නකෝන් ප්‍රමුඛ සිංහ පැටවුන් නන්නත්තාර කිරීමට ඇන්ඩි රොබට්ස් ප්‍රමුඛ කොදෙව් වේගපන්දු යවන්නන් සමත් උනා. ප්‍රතිඵලය උනේ සිංහ පැටවුන් 86 කට දැවී යාම. කොදෙව් කණ්ඩායම එක් විකට්ටුවක අහිමි කරගනිමින් ඕවර් 20 කදී සිය ඉල්ලක්කය සපුරාගැනීමට සමත් උනා.

ඕවර 120 ක තරගයක් නැරඹීමට පැමිණි පන්දහසකට අධික ප්‍රේක්ෂකයන් ඒ වනවිට ඔවුන් රැගෙන ආ කෑම පාර්සල් ආදිය තවමත් එලෙසමයි. ඔව්..ඔව්... බියර් බෝතලුත් කැඩුව විතරයිලු. සම්පූර්ණ තරගය සඳහා වැය උනේ පන්දු ඕවර් 57 ක් පමණයි. අනෙක් කරුණ වන්නේ තරග ප්‍රතිඵල නොදැන තවත් පිරිසක් ක්‍රීඩාංගනය ඇතුළුවෙමින් සිටීමයි.

අවසානයේ ප්‍රෙක්ෂකයන් උද්ඝෝෂණය කිරීමට පටන් ගත් අතර වාර්තා පොත් අතරට නොගිය 20/20 තරගයට මග පෑදුනේ එම උද්ඝෝෂණය තමයි.

අවසානයේ තරග සංවිධායකයන්ට සිදුඋනා කණ්ඩායම් දෙකේ එකඟතාවයෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කණ්ඩායමකට ඕවර් 20 බැගින් වූ තරගයක් පවත්වන්න.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම තෝරා ගත්තා. බැරිවෙලාවත් බැට් කරන්න ලංකාවට ආරාධනා කළා නං තවත් තරගෙකට මග පෑදෙයි කියල කොදෙව්වො බය වෙන්නැති. ඔවුන් සිය ඕවර් 20 තුළ ලකුණු 141 ක් ලබාගැනීමට සමත් උනා. ලකුණු 142 ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි උනත් ඔවුන් එක්දින තරගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය ඉක්වමා යාමට සමත් උනා. ඔවුන් කඩුලු 03 ක් දැවී ලකුණු 121 ක් ලබාගත්තා. හැබැයි එක්දින තරගයේදී ලංකාවට ප්‍රබල තර්ජණයක් වෙච්ච ඇන්ඩි රොබට්ස්, බර්නාඩ් ජූලියන්, කීත් බොයිස් මේ තරගයේදී පන්දු යැව්වෙ නෑ.

බැරිවෙලාවත් ඔවුන් පන්දු යැව්ව නං ආපහු සික්ස් සයිඩ් මැච් එකක් හරි ගහන්න වෙයි කියල කොදෙව්වන්ට හිතෙන්න ඇති.

දුලිප් මෙන්ඩිස් ප්‍රේක්ෂකයන්ට උද්යෝගයක් ගෙන දෙමින් ලකුණු 55 ක් ගැහුවා. ඒ හයේ පාර 3 ක් සහ හතරෙ පාර 5 ක් එක්ක. නරක නෑ නේ.

කොහොම උනත් වත්මන් 20/20 කණ්ඩායමේ දක්ෂතා එක්ක බලද්දි එදා ලංකාවෙ පිළිතුරු ඉනිම ඒතරම් නරක නෑ නේද ? පවර් ප්ලේ නැතුව, ෆ්‍රී හිට් නැතුව, ෆීල්ඩර්ස්ල යාර 30 සීමාවට සීමා කරන්නෙ නැතුව ඕවරේකට හයක සාමාන්‍යයකින් ගහනව කියන්නෙ සෑහෙන්න දක්ෂතාවයක්. අනික යෝධ කොදෙව්වන්ට එරෙහිව...

ඔන්න ඔහොමලු ඒ කාලෙ අපේ සිංහ පැටව් වාර්තා අතරට නොගිය 20/20 ගැහුවා කියන්නෙ ඈ........

මක්ක හරි කොටල පලයල්ලකො බං... එපා වෙනවා....

 නාකියා

4 comments:

  1. නෙහාන් K.K.July 6, 2016 at 10:50 AM

    එළ එකක්��

    ReplyDelete
    Replies
    1. හම්මේ ඇති යාන්තං එහෙම එකක්වත් කොටාගෙන ගියා

      Delete